“අපේ වලව්වෙ ඇත්තු, අපිට කැමති තැනක තියන්න පුලුවන් අප්පු. ඒකට තමුන්ට කතා කරන්න කිසි අයිතියක් නෑ.”
ආග්ය මද කෝපයකින් යුතුව පවසද්දී, අප්පුගේ මුව ඉබේම වැසිණි. ඒත් සමඟම ආග්ර හොඬවැල ඔසවා අමුතු නාදයක් කරද්දී, නොසිතාම ආග්යගේ දෑස් ආග්ර අසළ නැවතිණි. ආග්රගේ දුඹුරු පැහැ දෑස්, තත්පර කිහිපයකට ආග්යගේ දෑස් හා පැටලිණි. ආග්ය ඒ ශබ්දය හඳුනයි. ආග්ර ඒ ශබ්ද කරන්නේ අප්පුට තමා සැරකළ සතුටටය. ඒ ආග්ර සතුටුවීමේදී නගන ඔහුටම පමණක් ආවේණික ශබ්දයය. ආග්ය හිස් බැල්මෙන් ආග්ර දෙසම බලා හිඳිද්දී, ආග්ර වේගයෙන් ඔහු දෙසට දිව එන්නට විය. බණ්ඩා හැර අනෙක් අප්පු ඇතුළුව අනෙක් ඇත්ගොව්වන් දෙදෙනාම පියවර කිහිපයක් පසුපසට ගියේ භීතියෙන් විසල් වූ දෑසිනි.
ඇත්ගාලේ සිටි උසම හා පෘෂ්ඨිමත්ම සද්ධන්තයා වූ ආග්ර, ඉදිරියට පැමිණෙද්දී, ඇත්ගොව්වන්ට භීතියක් දැනීම පුදුමයක් නොවේ. වසර විස්සක් පුරාම ඔවුන්ගේ සිත් තුළ වූයේ ආග් මිනීමරුවෙකු බව නිසාම ඒ හැඟීම වඩාත් තීව්රව මේ මොහොතේ ඔවුන් සියල්ලන්ටම දැනුනි.
නමුත් ආග්ය පමණක් සිටි තැනම නතරව, තමා ඉදිරියට පැමිණෙන සද්ධන්තයා දෙස බලා සිටින්නට විය. මේ මොහොතේ ආග්රගෙන් මැරුම්කන්නට පවා ආග්ය දෙවරක් සිතන්නේ නැත. තමා ආග්රගේ ජීවිතයෙන් වසර විස්සක් විනාශ කළ බව සිහිවෙද්දී, ආග්යට දැනුණේ පපුව සූරන වේදනාවකි. ආග්ය දෑස් තදින් වසාගත්තේ ඕනෑම දේකට සූදානම්වය. ආග්ර දෙනු ලබන ඕනෑම දඬුවමකට යටත්වීමට දැනටමත් ඔහු සූදානම්ව සිටියේය.
නමුත් සිදුවූයේ අනිකකි. වේගයෙන් ආග්ය ඉදිරියට පැමිණියද, ආග්යට හුස්මක් දුරින් ආග්ර නැවතුණි. ඔහු උත්සහ කළේ හොඬවැල, ආග්යගේ උරහිස මතින් තබන්නටය. ආග්යට ඒ සීතල පහස දැනූණද ඒ තත්පර කිහිපයකට පමණය. ඒත් සමඟම ආග්රගේ මුවින් නික්මුණු වේදනාත්මක හඬට ආග්යගේ දෑස් ක්ෂණයකින් විවර විය.
විවර වූ දෑසින් දුටු දෙයට, ආග්රගේ මුළු වතම කෝපයෙන් රත් පැහැ ගැන්වීමට වැඩි වේලාවක් ගියේ නැත. අදහන්න…! අප්පු ඔහුගේ හෙණ්ඩුවෙන් ආග්රගේ සම පසාරු කර තිබිණි. ආග්රගේ මේ වේදනාත්මක කෙඳිරිය ඒ නිසාය.
**********************************
ආපු තැනටම යනවා උදතාරි…! මට හිටිය එකම දරුවා භාවනා විතරයි. ඒ ඇරෙන්න මට වෙන දරුවෙක් හිටියෙ නෑ කියලා මම හිතාගන්නම්. ආපු තැනටම පලයන්…! මට හොරෙන් සති ගණන් ආග්රා වලව්වට ගෑටුවාලු නේද තමුන්… ලෙව්කේ වලව්වෙන් ඒක මට අද නොකිව්වා නම්…. මම අදටත් හිතන් ඉන්නෙ තමුන් මගෙ සුවච කීකරු දුව කියලා.
අනේ අප්පච්චි…
මතක තියාගනින්… අද ඉඳන් උඹ මේ රත්වත්තෙ වලව්වෙ එකියක් නෙමේ. උඹට මගෙ වාසගම පවා පාවිච්චි කරන්න මේ වෙලාවෙ ඉඳන් තහනම්.
********************************
මේනකා මැණිකේට අවශ්යව තිබූ බෙහෙත් බඩු කිහිපයක් මිලදීගැනීමට ආග්ය, සුළු මොහොතකට රථයෙන් බැස ගියේ අනුත්ද්රා තද නින්දක සිටි නිසාය. ඇයගේ නින්ද කඩන්නට ඔහුට අවැසි වූයේ නැත. ඊට සුළු මොහොතකට පසුව අනුත්ද්රා තිගැස්සී ඇහැරුණේ රථයේ ඩෑෂ් බෝඩය මත වූ ආග්යගේ දුරකථනය මහ හඬින් නාද වීමට ගත් නිසාය. වරක් දෙවරක් එය ගණන් නොගත්තද තෙවන වාරයටද එම අංකයෙන්ම ඇමතුමක් පැමිණෙද්දී, අනුත්ද්රා එම ඇමතුම හා සම්බන්ධ වූයේ නිදාමරගාතේමය.
“හෙලෝ සර්. මම සුමංගල. අර ආග්ර කියන සතාව මෙහෙට ගේන්න ඩොකියුමන්ට්ස් ඔක්කොම රෙඩී. මට සර් එක්ක ටිකක් ඒ ගැන කතා කරන්න ඕනෙ.”
අනුත්ද්රාගේ සියළඟම වෙවුලා ගියේ නොසිතූ මොහොතක ඇසුණු දේ නිසාය. ඇයගේ දෑත් ගැහෙන්නට වූයේ වේගයෙනි.
“මො..කක්..ද?”
යුවතියගේ හඬ වෙවුලා ගියාය.
“කවුද මේ?”
“මම කවුද කියන එක තමුසෙට වැඩක් නෑ. දැන් ටිකකට කලින් කිව්වෙ මොකද්ද කියනවා…!”
Reviews
There are no reviews yet.