“මේ මොකද දෝනි මේ…. මොකකට හරි බය වුණාද ඔයා…. දාඩියත් දාලා….”
“නැහැ අම්මා මේ ශෙනුල්….”
“ඇයි එයා මොකද…. රණ්ඩු වුණාද දෙන්නා….”
“නෑ නෑ මේ…. දෙන්නකො අම්මා මම ඔය ටික කපන්නම්….” මා කීවේ මව උයන්නට සූදානම් කරමින් සිටි බෝංචි ටික ගනිමිනි.
“මට පුළුවන් දෝනි…. ඔයා උඩට වෙලා ඉන්න….”
“එහෙම ඉන්න කම්මැලියි අප්පා….”
“කම්මැලි මොකද පුතාත් ඉන්නවනෙ….”
“එයා මොකක්ද වැඩක් අම්මා….”
“ඉන්නකො දෝණි…. මං එයාට කියන්නම් බිස්නස් වැඩ ගෙදරදි කරන්න එපා කියලා….”
“අසමෝදගම් තියෙනවද අම්මා….” ශෙනුල් ද අප අසලට පැමිණියේ එසේ අසමිනි. ඔහු කොට කලිසමකින් සහ අත් රහිත ටී ෂර්ටයක් සැරසී සිටියේය.
“ඇයි පුතා අසමෝදගම්….?”
“දැන් මෙයත් උයන්න සපෝර්ට් කරනවා නම් ඉතින් අපි කන්න කලින් අසමෝදගම් ටිකක් බීල ඉන්න එක හොඳයිනෙ…. ඒකයි….”
“අනේ මේ යනව මෝඩයො යන්න…. අපි අවුරුදු ගාණක් බෝඩිමේ උයාගෙන කෑව කියල වන්දනාවත් කියල නැද්ද….?”
“දෝණිගෙ බෝඩිමේ හිටිය වන්දනා කියන ළමයද එතකොට පුතාගෙත් යාළුවා….” කට වැරදුණු බව සිහිවූයේ ශෙනුල්ගේ මව අසද්දීය.
මීට පෙර දිනක ද මා වන්දනා ගැන කියද්දී ශෙනුල්ට ද වන්දනා නමින් මිතුරියක වූ බව ඇය මා හට පැවසුවා මතකය.
“ඇත්තටම පුතා වන්දනා කෝ දැන්…. ඔය ළමය ඉස්සර ඔයාට නිතර කතා කළා නේද…?”
“මේ…. මේ…. දැන්නම් කාලෙකින් කතා කළේ නෑ අම්මා…. කොහෙ ඉන්නවද කියලත් දන්නෙ නෑ මං….” ශෙනුල් කීවේ එතැනින් පිටව යමිනි.
“මම හිතුවෙ දෝණිගෙ යාළුවා වෙන වන්දනා කෙනෙක් කියලා…. මීට කලින් දවසකත් දෝණි ඔය වන්දනා ගැන කියද්දිත් මම ඇහුවේ….”
“එයා ශෙනුල්ගෙත් යාළුවෙක් කියල මමත් මුලින් දැනගෙන හිටියෙ නෑ අම්මා…. ඊයෙ පෙරේද දවසක මං බෝඩිමේ අය ගැන කියද්දි තමයි ශෙනුල් කිව්වේ එයාගෙත් යාළුවෙක් කියලා….”
“ආ එහෙමද…. ඉස්සර මෙයාට ඒ ළමයගෙන් කෝල් එහෙම ආවා…. සමහර වෙලාවට ගෙදර නම්බර් එකටත් ගන්නවා….” ඇය කියද්දී කිව යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිව මා අසරණ වී සිටියෙමි.
“ඒ වන්දනා වැඩ කළේ කොහෙද දෝණි….”
“මේ මම වැඩ කරන ඔෆිස් එකේමයි අම්මා….”
“එහෙනම් ඒ කාලෙ පුතාගෙයි ඒ ළමයගෙ යාළුකම ගැන දෝණි දැනගෙන හිටියෙ නැති එක පුදුමයිනේ….”
“ඔව් අම්මා මම දන්නෙ නෑ….” මා කීවේ ඇගේ දෙනෙත් මගහරිමිනි.
රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු කාමරයට ගිය මා කළේ නවාතැනේ තිබී රැගෙන ආ ඇඳුම් ද අල්මාරියේ ඇසිරීමය. නිවසින් ගෙන ආ ඇඳුම් ද බොහොමයක් තවමත් තිබුණේ රැගෙන ආ බෑග්වලමය. නවාතැනේ ඇති මගේ අල්මාරිය රැගෙන එන තුරු ශෙනුල්ගේ අල්මාරියේ කොටසක මගේ අවශ්‍යම ඇඳුම්වලින් කොටසක් හෝ අසුරාගන්නට සිතුවේ සෑමවිටෙකම බෑග් අදිමින් ඇඳුම් සෙවීම කරදරයක් වූ නිසාය.
ඉක්මනින් එම කටයුතු නිම කර නිදාගන්නට ගියත් නෙතට නින්දක් නොවිණි. ශෙනුල් තවමත් කාමරයට නොපැමිණියේ පියා සමඟ කතාබහක විය යුතුය. ඔහු සිරිතක් ලෙස රාත්‍රී ආහාරයෙන් පසු පියා සමඟ ව්‍යාපාර කටයුතු ආදිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව මේ වන විට මා දැන සිටියෙමි.
“ඒයි මැඩම් නිදිද….? බොරුවට නේද නිදි වගේ ඉන්නෙ…. මම දැන් ටිකකට කලින් ඇවිත් බලද්දි අල්මාරියේ ඇඳුම් අහුරනවනේ….” ශෙනුල් කාමරයට පැමිණි බව දැනෙද්දීම නෙත් වසාගෙන සිටි මා අසලට පැමිණි ඔහු පවසන්නේ මගේ හිස මත අතක්ද තබාගෙනය.
මගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසාමදෝ ඔහු කළේ නාන කාමරයට ගොස් දොරවසාගැනීමය. ඔහු යළිත් පැමිණි බව ඇසුණේ විනාඩි කිහිපයකට පසුවය.
පසුව ඔහු ඇඳ මත වැතිරෙනු දැනිණි. ඉන් පසු ඒ අතක් වෙලී ගියේ මගේ බඳ වටාය. අනතුරුව ඔහු කළේ මා සිය තුරුලට ගැනීමය. ඔහුගේ තොල් මගේ ගෙල මත වදිද්දී මා නෙත් විවර කළේ තිගැස්සෙමිනි.
“නිදාගෙන නෙවෙයි නේද හිටියේ….” ඔහු ඇසුවේ මගේ මුහුණට එබෙමිනි.
“නිදාගෙන තමයි හිටියේ…. මට නිදාගන්නවත් දෙන්නෙ නැද්ද අනේ…. යන්නකො එහාට….”
“එහාට යන්න කියන්නෙ මොකද හැමවෙලේම….” ඔහු ඇසුවේ තරමක් කෝපය මුසු හඬකිනි.
“ළඟට එනවට කැමති නැති නිසා….”
“ඒ වුණාට මම එනවා…. ඔය හිතුවක්කාර ගති අඩුකරගන්නව දැන්….”
“මොන කරදරයක්ද මන්දා….”
“කරදරයක් වුණත් අද නම් මම ඔයා කියන දේ අහන්නෙ නෑ….” ඔහු කියද්දී සිතට දැනුණේ බියකි.
සිතෙහි ඔහු සම්බන්ධයෙන් යම් හැඟීමක් ඇති බව සැබෑවකි. එහෙත් තවමත් ඔහු පිළිගැනීමට සිත සූදානම් නැත.
“මොකද හලෝ මේ බයවෙලා…. හරි හරි මං බලෙන් මොනවත් කරන්නෙ නෑ…. ඒ තරම් අසහනකාරයෙක් නෙවෙයි මං…. නිදාගන්න දැන්….”
“එහෙනම් අත ගන්නකෝ….” මා කීවේ බඳවටා තිබූ ඔහුගේ අත මුදවන්නට උත්සාහ ගනිමින්මය.
“ඇයි ඔහොම නිදාගන්නවා….”
මා සිරුරට තෙරපා ගනිමින්ම ඔහු කියද්දී මසිතද ඒ උණුසුමට අවනත වනු දැනිණි. තවත් විරුද්ධවීමට නොසිතුණු නිසාම මා දෙනෙත් පියාගත්තේ ඒ උණුසුමේය.
“බොරුවට ලොකුකම් පෙන්නුවට හොර පූසියෙක් වගේ ගුලිවෙන්නෙ ඔය….” ඔහු මගේ කම්මුලක් මත දෙතොල් තද කරමින් කියද්දී මා කළේ ඔහුගේ ලය කෙනිත්තීමය.
“අපෝ කොටිච්චියෙක් වගේ කොනිත්තන්න එපා බං….. ඔහොම කරද්දි මගෙත් ඉවසීම නැතිවෙනවා හොඳේ…. ඊට පස්සෙ බනින්න එන්න එපා….” මා දෙනෙත් පියාගත්තේ නිහඬවමය.
“දුෂ්ටියෙක් මහ…. මම ඉඹිනකොට අගේට ඉන්නවා…. මේ නිකමට වගේ මටත් දෙනවකෝ එකක්….”
“මොකක්ද….?” මා ඇසුවේ දෙනෙත් විවර නොකරමය.
“කිස් එකක්….”
ඔහු කියද්දී මා කළේ ඔහුගේ පපුවට දෑත් තබා ඔහු තල්ලු කිරීමට උත්සාහ කිරීම වුවත් ඔහුව සෙන්ටිමීටරයක් හෝ තල්ලු කිරීමට මට හැකිවූයේ නැත.
“ඔය කෝටු අත්වලින් මාව තල්ලු කරන්න පුළුවන්ද….? බොරුවට මහන්සි නොවී නිදාගන්න….” කී ඔහු කළේ මගේ මුහුණ ඔහුගේ ලයට තවත් තදකරගැනීමය.
පසුදින මා අවදි වූයේ ද ඒ තුරුලේමය. අවැසි වූයේ ඔහු අවදිවන්නට පෙර ඔහුගේ තුරුලෙන් ඉවත්වීමටය.
“තව ටිකක් ඉන්නකො ඔහොම….” ඔහුගේ අත ඉවත් කරන්නට මා උත්සාහ කරද්දී සිදුවූයේ ඔහු විසින් තව තවත් මා සිය ගතට තදකරගැනීමය.
“අනේ නැගිටින්න දෙන්නකො…. මම ඔෆිස් යන්නත් ඕනේ….”
“ඔය ජොබ් එකට යන්නම ඕනෙද බබා….” ඔහු ඇසුවේ මගේ මුහුණ දෙස ඍජුව බලමිනි.
“ඇයි එහෙම අහන්නේ….”
“නැහැ…. ඔයාට ජොබ් එකක් කරන්න ඕනෙම නම් මගේ වැඩවලට උදව් වෙන්න පුළුවන්නේ…. අනික ඔයා ඔෆිස් ගිහින් එක එක්කෙනාගෙ කතා අහල හිත රිද්දගන්නවට මං කැමති නෑ බෝනික්කි…. ඊයෙ වුණ දේවල් මනුල මට කිව්වා….” සිතුණේ එවේලේම මනුලට දුරකතන ඇමතුමක් ගෙන බැණ වදින්නටය.
“එහෙම වුණේ ඉතින් ඔයා කරපු වැරදි නිසානෙ ශෙනුල්…. එයාල ඕව කියවල කියවල එයාලටම ඇතිවුණාම නවත්ත ගනියිනෙ….” මා කියද්දී ඔහු කළේ සුසුමක් හෙළීමය.
“එතකොට ඔයා මනුල එක්ක කතා කර කර ඉන්නවා ෆොටෝ ගහල මට මේල් කරල තිබ්බේ…. ඒක ගැන ඔයා මොකද කියන්නේ…. මීට කලිනුත් මටයි ඔයාලගෙ අප්පච්චිටයිත් ඒ වගේම ෆොටෝස් වගයක් එවල තිබ්බ මතකද….?”
“මම දන්නෙ නෑ ශෙනුල්…. මට තේරෙන්නෙ නෑ…. ඒත් මමයි මනුලයි යාළුවො විතරයි….”
“ඔයාට යන්න ඕනෙම නම් ඔෆිස් ගියාට කමක් නෑ…. ඒත් පරිස්සමින්….” ඔහු කීවේ මගේ හිස මත අතක් ද තබමිනි.
26 වන කොටසින් හමුවෙමු.