ශෙනුල් කාමරයට පැමිණියේ කීයටදැයි නොදන්නා නමුත් උදෑසන අවදිවෙද්දී ඔහු සිටියේ මා අසලය. ඒ අතක් තිබුණේ මගේ බඳ වටා ගොසිනි. මේ මා මෙලෝ සිහියක් නැතිව නිදාගැනීමේ ප්‍රතිඵලයකි. යළිත් ඔහුට මා ස්පර්ශ කිරීමට හෝ අවස්ථාවක් නොදිය යුතුයැයි සිතමින්ම මා ඇඳෙන් බැස්සේ ඒ අත පසෙකට කරමිනි.
“ගුඩ් මෝර්නින් අම්මා…. අද මං උයන්නද….?” මා ඇසුවේ කුස්සියට වී සහල් සෝදමින් සිටි ශෙනුල්ගේ මවගෙනි.
“අනේ මට පුළුවන් දෝණි…. ඔයාව අපි ගෙනාවෙ කෑම හදන්න නෙවෙයිනේ….”
“මටත් පුළුවන් අම්මා…. බෝඩිමේදිත් අපි උයාගන්නවනෙ….”
“තව කී දෙනෙක් හිටියද දූ….”
“මමයි….. මන්දිතායි වන්දනායි කියල යාළුවො දෙන්නෙකුත් හිටියා….”
“වන්දනා….” ශෙනුල්ගේ මව මා දෙස බැලුවේ පුදුමයෙනි.
“ඇයි අම්මා එයාව දන්නවද….?” මා ඇසුවේ ඇය වන්දනා ගැන දන්නා බව ඒ හැසිරීමෙන්ම පැහැදිලි වූ බැවිනි.
“නෑ දුව…. අපේ පුතාගෙ යාළුවෙකුත් හිටියා වන්දනා කියලා…. ඒත් ඔයාගෙ යාළුවා වෙන වන්දනා කෙනෙක් වෙන්න ඇති….” ඇය කීවේ මගේ දෙනෙත් ද මගහරිමිනි.
“ඔව් අම්මා එයා වෙන්න බෑ….”
“දෝණි, ඔයා මේ තේ එක පුතාට දීල එන්නකො…. මාත් තාත්තගෙ තේ එක දීල එන්නම්….”
මා ශෙනුල්ගේ තේ කෝප්පය දී යළි එන විටත් ඔහුගේ මව උදෑසන ආහාර පිළියෙල කිරීමේ කටයුතු ආරම්භ කර තිබූ නිසා මා ඇයට සහයවීම පමණක් සිදුකළෙමි.
“සමහර අම්මල කැමති නෑ ලේලි කුස්සියේ වැඩ තමන් යටතට ගන්නවට…. සමහරු සේරම වැඩ ලේලි පිට පටවනවා…. කොච්චර හොඳ නැන්දම්ම කෙනෙක් වුණත් එයාගෙ විදියට අපි හැඩනොගැහුණොත් පස්සෙ ප්‍රශ්න එන්න පුළුවන්…. ඔයා පොඩි කාලෙ ඉඳන් මානෙල් ඔයාට ආදරේ බව ඇත්ත…. ඒත් පුතේ ඔයා ඒ ගෙදරට ගියාම මානෙල් ඒ ගෙදර ඉන්න විදියට ඉන්න…. නැත්නම් පස්සෙ ප්‍රශ්න එන්න පුළුවන්…. මේ මම නැන්දල එක්ක ඉන්න විදිය පේනවනෙ….” සිහිවූයේ විවාහ වී ශෙනුල්ගේ නිවසට ඒමට පෙර අම්මා ලබාදුන් උපදෙසකි.
“සිතූ ඔයා ආයෙ ඔෆිස් යන්නෙ කවද ඉඳන්ද….” ශෙනුල් ඇසුවේ අප උදෑසන ආහාර ගනිමින් සිටියදීය.
“මමත් මේ දූගෙන් අහන්න හිටියේ…. කවද වෙනකම් නිවාඩු ද….?” ඒ ශෙනුල්ගේ පියාය. සිතුවේ මගේ පියා මෙන් ඔවුන්ද මගේ කාර්යාල ගමනට බාධා කරනු ඇති බවය. නිවාඩු අවසන් වෙමින් තිබුණත් ඒ ගැන මා ශෙනුල්ගෙන් නොඇසුවේ ද එබැවිනි.
“තව දවස් දෙකකින් වගේ යන්න ඕනෙ තාත්තා….”
“ඊට කලින් දෙන්නත් එක්ක දූලගෙ ගෙදර ගිහින් ආවොත් හොඳයි නේද….?” ඔහු අසද්දී මා බැලුවේ ශෙනුල් දෙසය.
“ඔව් තාත්තා…. මෙයා දවස් දෙකකින් ඔෆිස් යනවනම් අපි හෙට ගිහින් එන්නම්….”
අප පසුදින උදෑසනම නිවසට පැමිණෙන බව ඇමතුමක් ගෙන අම්මාට දැනුම්දුන්නේ ද ශෙනුල් විසිනි. ඔහු මා හා මනුල සම්බන්ධයෙන් වැරදි අවබෝධයක සිටියදීත් මට රැකියාවට යාමට අවසර ලබාදීම ගැන ඇතිවූයේ පැහැදීමකි.
“තෑන්ක් යූ….” මා ශෙනුල් දෙස බලා පැවසුවේ කාමරයට ගිය අවස්ථාවේය.
“ඇයි මොකටද….?”
“මට ඔෆිස් යන්න දෙනවට….”
“හැබැයි මතක තියාගන්න…. මම ඔයාට යන්න දෙන්නෙ ඕක ගෙදරිනුත් හොරෙන් ගිහින් ආසාවෙන් කරන්න ගත්ත රස්සාව නිසා…. ඒත් ඔයා දැන් මගෙ වයිෆ්…. පරණ දේවල් අමතක කරල රස්සාව විතරක් කරයි කියල මම හිතනවා….”
ඔහු කීවේ මා වෙත ඍජු බැල්මක් හෙලමිනි.
********
පසුදින උදෑසනින්ම අප පිටත්වූයේ මගේ නිවසට ගෙනයාම සඳහා ශෙනුල් විසින් ගෙනැවිත් තිබූ තෑගි බෝග ද රැගෙනය. ඔහු අම්මාට, අප්පච්චීට මෙන්ම නැගනියට ද වෙන වෙනම ත්‍යාග ගෙනැවිත් තිබිණි.
ශෙනුල්ගේ මව මට නිවසට ගෙනයෑම සඳහා අලුවා, අච්චාරු, බටුමෝජු ආදී ආහාර වර්ග කිහිපයක්ම සකස් කළේ ‘ඉස්සරත් මානෙල් මං හදන කෑම කන්න කැමතියි…. ඔයා හම්බවෙන්න ඉද්දි එයාට ආස කෑම හදල දුන්නේ මං තමයි…. ඒ කාලෙ ඔයා ඉපදෙනකම් අපි මගබලන් හිටියා…. දැන් ඒ කෙල්ල මගේ ළඟටම ඇවිත්….” ආදී දේ කියමිනි.
විවාහයෙන් පසු ජීවිතය සිතූ තරම් නීරස නොවූයේ ශෙනුල්ගේ මව ආදරණීය චරිතයක් වූ නිසාමය.
නිවසට ගිය පසු අම්මා මහත් සතුටින් අපව පිළිගනිද්දී අප්පච්චී කළේ දුර සිට අප දෙස බලා හිඳීමය.
“කොහොමද අප්පච්චී….” ශෙනුල් ඔහු හා එක්වූයේ අම්මාටත්, මටත්, නංගීටත් නිදහසේ සිටින්නට ඉඩ සලසමිනි.
අම්මාත්, නැගනියත් ශෙනුල්ට පෙරැත්ත කරමින් සංග්‍රහ කරනු ඇසුණේ මා කාමරයට වී රැගෙන යා යුතු මගේ පොත්, පත් සහතික ආදිය සූදානම් කරමින් සිටියදීය. නවාතැනේ ඇති ඇඳුම් පැළඳුම් ආදිය ද හෙට රැගෙන ආ යුතුය. මගේ කාර්යාලයට අඳින ඇඳුම් සියල්ල පාහේ තිබුණේ එහිය.
“තාමත් දෙන්න වලිද අක්කා…. හැබැයි අපිට පේන විදියට නම් ඔයාල දැන් කුරුල්ලයි කිරිල්ලියි වගේ ඉන්නවා…. අර දවල් ඔයා අයියට කෑම බෙදලා දෙද්දි එයාගෙ මූණෙ තිබුණ පෙම් හිනාව මමනෙ දැක්කෙ….”
“අනේ නංගි මේ ඒ එයාගෙ මූණනෙ…. මගෙ නෙවෙයිනෙ….”
“තාම දෙන්න වලිද ඒ කියන්නේ….”
“මට තාම ශෙනුල් ගැන එහෙම හැඟීමක් එන්නෙ නෑ නංගි…. හැබැයි මං හිතුවට වඩා එයා හොඳයි වගේ කියල හිතෙනවා…. වෙලාවකට සැර කළාට තාම මං අකමැති කිසිම දෙයක් කරල නෑ එයා….”
“දැන් මොනව වුණත් ඔයාල දෙන්න මැරි කරලනෙ අක්කි…. අනික කලින් තිබුණ එෆෙයාර් එකක් අතෑරල වෙන කෙනෙක් මැරි කරපු මේ ලෝකෙ එකම කෙනා අයිය නෙවෙයිනෙ…. ඒ නිසා ඔය පරණ දේවල් අමතක කරල එයත් එක්ක සතුටින් ඉන්න…. නැත්නම් ඔයාමයි දුක් විඳින්නේ….”
ශෙනුල් හා මා විවාහ වී ගත වූ දින කිහිපයක කාලයේ දී ඔහු මට සැලකූයේ ඉතා ආදරණීය අයුරිනි. සෑම ගැහැණු ළමයකු මෙන්ම මා ද ප්‍රිය කළ ආදරයෙන් රැකබලාගන්නා පිරිමියකු ලැබී සිටියදී තවදුරටත් ඔහු ප්‍රතික්‍ෂේප කරමින් ඈත්ව සිටීමේ තේරුමක් නැතැයි මට ද කිහිපවරක් සිතී ඇති නමුත් වන්දනා හා ඔහු අතර වූ සම්බන්ධය දැන සිටි මන්දිතා, මනුල ඇතුළු අය ගැන කෙසේ සිතනු ඇත්දැයි සිතෙද්දී දැනෙන්නේ දෙගිඩියාවකි.
මා පහත මාලයට පැමිණීම සඳහා පියගැටපෙල බැස්සේ කුසගින්නක් දැනෙමින් තිබූ බැවින් මොනවා හෝ ආහාරයට ගැනීමට සිතමිනි.
“අපේ පුතත් ලංකාවෙ නැති එකේ ඉතින් ඉස්සරහට මේවත් බලාගන්න වෙන්නෙ පුතාට තමයි…. ඒ නිසා ඉතින් මෙහෙන් අමුතුවෙන් ඉඩම් හොයන්නෙ මොකටද…. පුතාගෙ ඔය වැඩේ මගෙ ඉඩමකම පටන් ගන්න…”
මා අතරමග නැවතුණේ අප්පච්චිගේ කතාව ඇසෙද්දීය.
“ඒත් එහෙම හරි නෑනෙ අංකල්…. මට වෙන ඉඩමක් හොයල දෙන්නකො…. මම පහුගිය ටිකේම නුවර ඇවිත් හෙව්වත් මට හරියන ප්ලේස් එකක් සෙට් වුණේ නැහැ…. ඒකයි අන්කල්ට කිව්වේ….”
“හරි නැහැ කියන්නෙ ඇයි පුතා…. පුතා මගෙ හොඳම යාළුවගෙ පුතා වගේම දැන් මගේ දුවගෙ මහත්තයා…. මගෙ දේවල්වල අයිතියක් දුවටත් තියෙනවා…. ඒ කියන්නෙ මේව පුතාටත් අයිතියි….”
“බලමුකො අංකල්…. මට හොඳ ප්ලේස් එකක් හොයාගන්න බැරි වුණොත් අංකල්ගෙ ඉඩමකවත් පටන් ගන්නම්….” ශෙනුල් එසේ කියද්දී මට දැනුණේ නොරිස්සුමකි.
අප්පච්චීගේ දේපල අයියා සිටියදී ඔහුගේ පාලනයට නතු විය යුතු නැත. එහෙත් අප්පච්චී ගන්නා තීරණ වෙනස් කිරීමේ හැකියාවක් අප කිසිවකුටත් නොවිණි.
20 වන කොටසින් හමුවෙමු.