මා කාමරයෙන් පිටව පියගැටපෙල බැස පහත මාලයට පැමිණියේ තව දුරටත් ශෙනුල් හා කාමරයේ රැඳී සිටීම අපහසු වූ බැවිනි.
“ආනේ ඔයා ආවද දෝණි…. මම මේ පුතාට තේ එකක් හදන්න කියල හැදුවේ….”
“මම හදන්නම් අම්මේ….” අප අතර මොන ප්‍රශ්න තිබුණ ද ඒවා දෙමාපියන්ට දැනෙන්නට දිය යුතු නැතැයි සිතෙද්දී මා කීවෙමි.
“එහෙනම් හදන්නකෝ…. පුතාත් ආස ඇතිනෙ ඔයා අතින් හදන තේ බොන්න….” ඇය කියද්දී මා සිනාසී බිම බලාගතිමි.
“අම්මටත් හදන්නද…. තාත්තත් ඉන්නවද….?”
“තාත්තනම් එළියට ගිහින් දුව…. මට හදන්නකො…. ඔයා දවල්ට කෑවෙත් නෑ නේද තව….”
“නෑ බඩගින්නක් නෑ අම්මේ….”
“මෙයා තාම කාල නැද්ද අම්මා….” පිටුපසින් ඇසුණේ ශෙනුල්ගේ හඬය.
“නෑනෙ පුතා…. මම බලද්දි නිදාගෙන හිටිය නිසා මමත් කතා කළේ නෑ…. ඔයත් එළියෙන් කාල ඇවිත්නෙ….”
“මම ලන්ච් ගන්න හිතාගෙන ගියේ නෑ අම්මා…. ඒත් ගන්න වුණා…. අනික මම මෙයාට මැසේජ් එකකුත් දැම්මා මං කාල එන්නෙ බලාගෙන ඉන්නෙ අම්මත් එක්ක නැතුව කන්න කියලා….” දුරකතනයේ කෙටි පණිවුඩ කිහිපයක් තිබූ බව මතක් වූයේ ද එවේලේය. වන්දනාගේ ඇමතුම හේතුවෙන් ඒවා විවෘත කර බලන්නට සිතක් වූයේ නැත.
“කෝ දැන් ඔය තේ එක හදල ඉවරනම් බත් එකක් බෙදාගෙන එනවා ඉක්මනට කන්න….”
“මොකද පුතා ඔය මේ ළමයට කතා කරන විදිය….”
“හුරතල් කරන්න ගියාම තමයි අම්මා හිතුවක්කාර වැඩ කරන්නේ…. පොඩි කාලෙත් එහෙමනේ….” ඔහු කියද්දී ඔහුගේ මව කළේ සිනා සී මා දෙස බැලීමය.
“කෝ කෝ බෙදාගන්නව ඉතින්….” ඔහු කීවේ මා දෙස රවා බලමිනි.
මා පිඟානක් ගෙන එයට බත් හැන්දක් බෙදාගත්තේ ඔහුගේ මව ඉදිරියේම ඔහුට විරුද්ධ විය නොහැකි බැවිනි.
“තමුසෙ කුරුල්ලෙක් ද ඔය බත් පොඩ්ඩක් බෙදාගෙන කන්න හදන්නේ…. ඕක පුරවල එකක් බෙදාගන්නවා…. කෝ නැත්නම් මම බෙදල දෙන්නම්….”
ඔහු කියද්දී මා බියටම තවත් බත් හැඳි දෙකක් බෙදා ගතිමි.
“පුතා…. මොකද මේ වෙලා තියෙන්නෙ ඔයාට….. පොඩි කාලෙ වගේ දෙන්න රණ්ඩු වුණාවත්ද….?”
“අම්ම ඉන්නකො පොඩ්ඩක්…. හා දැන් වාඩි වෙමු….” ඔහු කීවේ කුස්සියේම තබා තිබූ මේසය අසල වූ පුටුවක් ඇද එහි අසුන් ගනිමිනි. මාද ඒ අසලින්ම අසුන් ගත්තේ ඔහුගේ මව එතැනින් පිටව යන්නට සැරසෙද්දීය.
“අම්මත් කමු…. මං බෙදල දෙන්නද….?” අවැසි වූයේ ඇයව අප අසල තබාගන්නටය.
“දැන් තාත්තත් එයිනෙ දූ…. මම එයා ආවම කන්නම්…. ඔයා කන්නකො….” කී ඇය අප අසලින් පිටව ගියාය.
“ආ දැන් ඔය ටික සේරම කන්න ඕනෙ හරිද….?”
මා බත් පත අනන්නට ගත්තේ ඒ වන විටත් මා වෙත රවාගෙන සිටි බැවිනි.
“එයා වැරදි කරල මට රවන හැටි විතරක්…. තව මොනව හරි කිව්වොත් නම් බත් එක හලනව ඔලුවෙ ඉඳන්….” සිතට ආ සිතිවිලි වචන නොකරම මම බෙදාගත් බත් පිඟාන අවසන් කළෙමි.
ආහාර ගැනීමෙන් පසු මා කාමරයට නොගියේ ඔහු තේ කෝප්පය බී කාමරයට ගිය බැවිනි. කාමරයට ගොස් ඔහුගේ මුහුණ දෙස බැලීමට වූ අකමැත්ත නිසාම මම අම්මාත් සමඟ සාලයට වී කතා කරමින් කාලය ගත කළෙමි.
“අම්මා තේ එකක් ඕනේ….” උඩුමහලින් ඇසුණේ ඔහුගේ හඬය.
“මේ ළමයට නම් කොච්චර තේ බිව්වත් මදි…. ගෙදර හිටියොත් පැයෙන් පැයට තේ ඉල්ලනවා…. අනේ තේ එකක් ගිහින් දෙන්නකො දූ…. කුස්සියේ කබඩ් එකෙන් බිස්කට් පැකට් එකකුත් අරන් යන්න….”
මා කුස්සියට ගොස් තේ කෝප්පයක් ද සාදාගෙන චොකලට් බිස්කට් පැකට්ටුවක් ද ගත්තේ එය මා ද වඩාත් ප්‍රිය කළ බිස්කට් වර්ගය වූ බැවිනි. මා කාමරයට යන විට ඔහු සිටියේ ලැප්ටොප් පරිගණකය මේසය මත තබාගෙන කුමක් හෝ කාර්යයක නිරත වීය.
“තේ එක….” මේසය මත තේ කෝප්පය සමඟ බිස්කට් පැකට්ටුව තබා මා හැරුණේ ආපසු එන්නටය.
“කොහෙද යන්නේ….”
“පහළට ඇයි….?”
“හැමවෙලේම අම්ම අස්සෙ රිංගගෙන මොකද කරන්නෙ….”
“අකමැති මිනිස්සු එක්ක ඉන්නවට වඩා කැමති මනුස්සයෙක් එක්ක ඉන්න එක හොඳයිනෙ…. ඒකයි….”
“කැමති අකමැති කියල කරන්න දෙයක් නෑ…. දැන් ඉතින් ජීවිත කාලෙම ඉන්න වෙන්නෙ මාත් එක්ක තමයි….” ඔහු පැවසුවේ මා දෙස බලා සරදම් සිනාවක් ද පාමිනි.
“බලෙන් කසාද බැන්දට මගෙ හිත බලෙන් ගන්න බෑනෙ…. මම ඉන්නෙ මම කැමති විදියට…. අම්ම ඉන්න වෙලාවෙ කියපු දේවල් අහන් සද්ද නැතුව හිටියෙ බයට නෙවෙයි…. අපේ ප්‍රශ්න දැනගෙන ඒ මනුස්සට දුක් වෙනවට අකමැති නිසා….”
“මේකිගෙ සැර යකෝ….” ඔහු මුමුණනු ඇසුණේ මා කාමරයෙන් පිටතට යද්දීය.
කරන්නට දෙයක් නොමැති නිසාම සාලයේ වූ සෝපාව මතට වී පුවත්පතක් බලමින් සිටි මා තිගැස්සී ගියේ උකුල මතට යමක් වැටෙද්දීය.
පුවත්පත ද අතැර බලන විට උකුල මත වූයේ මා චොක්ලට් බිස්කට් පැකට්ටුවකි. ඉහළ බලන විට අත්වැටට බර දී සිනාසෙමින් මදෙස බලා සිටියේ ඔහුය. මා උකුල මත වූ බිස්කට් පැකට්ටුව අතට ගෙන එය ඉදිරිපිට වූ ස්ටූලය මත තැබුවේ ඔහු දෙස රවා බලමිනි.
“මාව කන්න වගේ බලන්නෙ ඕක කනවා…. ඉස්සර ඉඳන්ම චොක්ලට් බිස්කට් පෙරේතිනෙ….” ඔහු කීවේ හිනැහෙමිනි.
“ඒ ඉස්සරනෙ…. දැන් එහෙම නෑ….”
“අනේ බොරු නොකිය ඉන්න බෝනික්කි…. දැන් එහෙම නැති නිසා වෙන්න ඇති සතියකට සැරයක් විතර බෝඩිම ඉස්සරහ සුපර් මාර්කට් එකෙන් ලොකු චොක්ලට් බිස්කට් පැකට් දෙක ගානෙම ගන්නෙ….”
“ඔයා කොහොමද ඒක දන්නේ….” සිතට දැනුණු පුදුමය නිසාම මා ඔහුගෙන් ඇසුවේ වචන පටලැවෙද්දීය.
ඔහු කළේ පිළිතුරක් නොදී මදෙස මද වේලාවක් බලා සිට යළිත් කාමරය දෙසට ඇවිද යාමය.
“මොකද දෝණි පුදුමෙන් වගේ උඩ බලන් ඉන්නේ….” මා අසලට පැමිණි ශෙනුල්ගේ මව ඇසුවේ මගේ උරහිස මත අතක් ද තබමිනි.
“නෑ අම්මා මේ ශෙනුල්….”
“කෝ පුතා පේන්න නෑනෙ දෝණි….”
“ඔව් මේ දැන් ඇවිත් මම එයාට ගිහින් දුන්න බිස්කට් එක මටම දුන්නා….”
“ආ එයා ඔය චොක්ලට් බිස්කට් ගෙනාවෙ දෝණිට කියලමයි…. පොඩි කාලෙත් එයා ඕව කෑවෙ නෑ…. අපි ගෙනත් දුන්නම මේක බෝනික්කි නංගිට දෙන්නම් කියනවා….” ඇය කීවේ ආදරයෙන් මදෙස බලමිනි.
කුඩා කළ ඔහු එසේ විය හැක. නමුත් වර්තමානයේත් මා සුපිරි වෙළඳසැලට ගොස් සතිපතා ගන්නා චොක්ලට් බිස්කට් පැකට්ටු සංඛ්‍යාව ඔහු දන්නේ කෙසේද යන්න ගැටලුවකි. ඒ ගැන දැන සිටියේ මන්දිතාය. ඇය ශෙනුල් සමඟ කිසි දිනෙක කතා කර නොමැති නිසා ඇය ද එය කීවා විය නොහැක.
දුරකතනයෙන් නැගනිය හා මව සමඟ කතා කරමින් හා ශෙනුල්ගේ මව සමඟ නිවසේ කටයුතුවල යෙදෙමින් කාලය ගත් කළ මා රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු කාමරයට ගියේ නොයාම බැරි වූ බැවිනි. ඒ වන විට ශෙනුල් පහත මාලයට වී තම පියා හා කතාබහක යෙදී සිටි බැවින් ඉක්මනින් නාන කාමරයට ගොස් ඇඟ සෝදාගෙන පිජාමා වර්ගයේ රාත්‍රී ඇඳුමකින් ද සැරසුණු මා සූදානම් වූයේ පෙර දින මෙන්ම බිම නිදාගන්නටය.
“අනේ මේ මං තමුන්ව ගිලින්නෙ නෑ විකාර නැතිව නිදාගන්නවා ඇඳෙන්….” එවිටම කාමරයට පැමිණි ශෙනුල් පැවසුවේ මා බිම එලන්නට ගත් ඇඳ ඇතිරිල්ල ද උදුරා ගනිමිනි.
“ඔයත් එක්ක…. මට බෑ….”
“ඇයි බැරි….?”
“බැහැයි කියන්නෙ බැරි නිසා….”
“මේ මම ඉවසන්න ඉවසන්න විකාර නටන්න ලෑස්ති වෙන්න එපා හරිද…. මගෙන් ගුටි නොකා නිදාගන්නව ඇඳෙන්….”
“මට බෑ…. වන්දනා මට සාප කර කර ඇඬුවා….”
“අනේ මේ ඒ ගෑනිගෙ බම්බුව…. ඔයා ඒකි ගැන හරියට දන්නෙ නෑ සිතුලි…. ” ඔහු කියාගෙන ගියත් ඇය ගැන ඇසීම ද හිසරදයක් සේ දැනුණු නිසා මා කළේ දෑතින්ම සවන් වසා ගැනීමය.
“අයියෝ ඇති අනේ…. මට ඕව අහද්දි ඔලුව රිදෙනවා…. නිදිත් මතයි….”
මා කියද්දී ශෙනුල් මදෙස හෙලුවේ දුක්මුසු බැල්මකි.
“නිදාගන්න දැන්…. මම තව ටිකකින් එන්නම්….” කී ඔහු කාමරයේ දොරද වසමින්ම ඉන් පිටතට ගියේය.
19 වන කොටසින් හමුවෙමු.