මැදිවියේ කාන්තාවක විසින් නිවසට රැගෙන ආ ඉඳි ආප්ප, අල හොඳි, මාළු ඇඹුල් තියල් සහ පොල් සම්බෝල වෙන වෙනම බඳුන්වලට දමා කෑම මේසය මත තබන්නට ශෙනුල්ගේ මවට සහය දුන් මා ඔවුන් සමඟම රාත්‍රී ආහාරය සඳහා අසුන් ගත්තෙමි.
“අද පුතාට නම් දෝනි බෙදල දෙයිනෙ…. ඒ නිසා මම තාත්තට විතරක් බෙදන්නම්….” ශෙනුල්ට ආහාර බෙදා දිය යුතු බව මට සිහිවූයේත් ඔහුගේ මව පවසද්දීය.
මා ඔහුගේ පිඟානට ඉඳි ආප්ප බෙදද්දී ඔහු එක එල්ලේ බලාසිටියේ මදෙසයත දැනුණු අපහසුතාව පිටතට නොපෙන්වන්නට හැකිතාක් උත්සාහ කරමින්ම ඔහුට බෙදාදුන් මා අනතුරුව ඉඳි ආප්ප කිහිපයක් බෙදාගත්තේ ආහාර ගැනීමට තරම් පිරියක් නොවූ බැවිනි.
“මොකද දෝනි ඔය තව ටිකක් බෙදාගෙන කන්නකො…. අද දවල්ටක් හරියට කෑවෙ නෑ නේද….?”
“මේ ඇති අම්මා…. කන්න බෑ…. මහන්සියි….”
ආහාර ගැනීමෙන් පසු ශෙනුල්ගේ මව හා එක්ව කෑම මේසය ද අස් කර කාමරයට පැමිණි මා සිටියේ දැඩි අපහසුතාවයකිනි. එහි වූයේ ද එක් ඇඳක් පමණි. ඒ වන විටත් ශෙනුල් සිටියේ ඉන් අඩකටත් වඩා අත්කරගෙන තද නින්දකය. මා නිවසින් රැගෙන ආ රෙදි සහිත බෑගයේ වූ ඇඳ ඇතිරිල්ලක් ගෙන ඇඳ අසලම එලා ඇඳ මත තිබූ කොට්ටය ද ගෙන එහි නිදා ගතිමි. කිසිම දිනෙක බිම නිදා ගෙන නොතිබූ මා හට එය තරමක් අපහසු වු නමුත් උදෑසන සිටම වෙහෙසී සිටි නිසාදෝ ඉක්මනින්ම දෑස් පියවිණි.
“දෝනි…. තාම නිදිද පුතේ…. නැගිටල මේ තේ එක බොන්න….” මා තිගැස්සී අවදිවූයේ ශෙනුල්ගේ මවගේ හඬට ඇසීමෙනි.
මා සිටින්නේ ශෙනුල්ගේ නිවසේ බවත්, නිදාසිටින්නේ බිම බවත් සිහිවූයේ එවේලේය. ශෙනුල්ගේ මව මේ ගැන අසද්දී දිය යුතු පිළිතුරක් සිතමින්ම දෙනෙත් හරින්නට උත්සාහ කරන විට මට දැනුණේ මා සිටින්නේ ඇඳ මත බවකි.
“අම්මා කෝ ශෙනුල්….”
“දා ගත්ත බිස්නස් වැඩක් තියෙනව කියල උදේම ගියා පුතේ…. ඉක්මනින් එයි…. ඔයා හොඳටම නිදි නිසා ඇහැරෙව්වෙ නෑ කිව්වා….”
එසේ නම් මා ඇඳ මතින් තබන්නට ඇත්තේ ඔහුය.
“ඔයා මේ තේ එක බීල වොෂ් එකකුත් දාගෙන හෙමින් පහළට එන්නකො…. මම උදේට කන්න කිරිබත් හැදුවා….” ශෙනුල්ගේ මව පැවසුවේ මා කල්පනාවක සිටියදීය.
උදෑසන ආහාර ගැනීමෙන් පසු ශෙනුල්ගේ මව සමඟ මිදුලට වී ඇගේ මල් පැල අතර කාලය ගත කළ මා යළිත් කාමරයට පැමිණියේ කරන්නට අන් කිසිවක් ද නොවූ බැවිනි.
මාගේ දුරකතනය නාද වන්නට පටන් ගත්තේ දිය නා කොණ්ඩය ද වේලාගෙන නිදාගන්නට සැරසෙද්දීය.
“හෙලෝ….” දන්නා අංකයක් නොවූවත් මම ඒ හා සම්බන්ධ වීමි.
“හෙලෝ තමයි…. ඇත්තටම තමුසෙට ලැජ්ජාවක් නැද්ද හලෝ….” අනෙක් පසින් ඇසුණේ කෝපයෙන් පිරි කාන්තා හඬකි.
“ඇයි මේ…. කවුද ඔයා….?” කිසිවක් සිතාගත නොහැකි වූ මම විමසීමි.
“දැන් මාව දන්නෙත් නැද්ද එතකොට…. මගේ ශෙනුල්ව රවට්ටගත්තෙ තමුසෙයි එහෙනම්…. ඇත්තටම තමුන්ට ලැජ්ජාවක් නැද්ද සිතූ…. මං හිතුවෙ නෑ එක කාමරේ හිටිය යාළුව මට මෙහෙම කරයි කියලා….”
“දෙවියනේ වන්දනා….”
“වන්දනා තමයි…. ඇයි සිතූ මට එහෙම කළේ….” එවර ඇසුණේ ඇය හඬා වැටෙන හඬය.
“අනේ මේ අහන්න වන්දනා…. ඇත්තටම මේක මගෙ කැමැත්තට වුණ දෙයක් නෙවෙයි….”
“අකමැති නිසා වෙන්න ඇති නේද ඒ කාලෙත් ශෙනුල් එක්ක හොරෙන් චැට් කළේ….”
“මේ මම…. පිස්සුද වන්දනා මම ශෙනුල්ව දැක්කෙත් මනුල එක්ක ඔයා ගැන කතා කරන්න ගිය වෙලාවේ….”
“බොරු කියන්නෙ ඇයි සිතූ…. ඔයා මෙහෙම යාළුවෙක් කියල නම් මම හිතුවෙ නෑ…. ගොඩක් ස්තුතියි මට මේ කරපු දේට….” කී ඇය ඇමතුම විසන්ධි කරනු ඇසිණි.
අප විවාහ වූ බවක් මන්දිතා හෝ මනුලවත් තවම දන්නේ නැත. එසේ තිබියදී පවුල්වල සාමාජිකයන් පමණක් සහභාගී වූ විවාහය පිළිබඳ වන්දනා දැනසිටීම ද ගැටලුවකි. සිතිවිල පැටලී තිබුණේ ගැටගැසුණු නූල් බෝලයක පරිද්දෙනි.
මද වේලාවක් කල්පනා කරමින් සිත සන්සුන් කරගැනීමට උත්සාහ කළ මා අනතුරුව ඇමතුමක් ගත්තේ මන්දිතාටය.
“හෙලෝ….”
“මන්දි මම….”
“දෙවියනේ සිතූ…. මම මේ කෝල් එකක් ගන්නවද නැද්ද කියල කල්පනා කර කර ඉද්දි තමයි ඔයා ගත්තෙ…. උඹට ශෙනුල්ගෙන් ගැලවෙන්නම බැරි වුණාද කෙල්ලෙ….”
“මන්දි…. ඒක ඔයා දන්නෙ කොහොමද….?” මා ඇසුවේ වචන පටලැවෙද්දීය.
“ඇයි බං අර ශෙනුල් එෆ්.බී එකේ ෆොටෝස් දාල තිබුණේ උඹටත් ටැග් කරලා….”
මුහුණු පොතේ මා නමින් ගිණුමක් තිබුණත් මා එහි සැරිසැරුවේ ඉතාම අඩුවෙන් බැවින් මා ඒ වගක් දැන සිටියේම නැත.
“මොකක්…. මාවත් ටැග් කරලා…. ඒත් බං මම එෆ් බී අකවුන්ට් එක ලොක් කරලනෙ තියෙන්නේ…. ශෙනුල් මගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නෙවෙයි…. එහෙම තියෙද්දි මගෙ අකවුන්ට් එකට ඒ ෆොටෝ ටැග් වුණේ කොහොමද…. දැන් වන්දනා කතා කරල මට බැන්නා මන්දි…. එහෙනම් එයත් දැනගන්න ඇත්තෙ ඔය ෆොටෝවලින් තමයි….”
“වන්දනා බැන්නද….? ඒකිට කේන්ති යන එක සාධාරණයිනෙ බං…. අනික උඹට මොකද වුණේ කියල දන්නෙ අපිනෙ…. මම වන්දනා එක්ක කතා කරන්නම්…. දැන් ඒව වැඩක් නෑ…. කියපංකො උඹට කරදරයක් නෑ නේද….?”
“තාම නම් ප්‍රශ්නයක් නෑ බං…. ශෙනුල් පාඩුවේ ඉන්නවා…. ඒත් මට එයත් එක්ක ගෙවන ජීවිතයක් ගැන තාමත් හිතාගන්න බෑ බං….”
“හැමදේට කාලෙත් එක්ක හරි යයි සිතූ…. මොනව වුණත් දැන් උඹල දෙන්න කසාද බැඳලනෙ…. ඉවසීමෙන් වැඩ කරපං….”
“හරි මන්දි…. ඔයා වැඩ ඇතිනෙ…. පුළුවන් නම් මනුලට කෝල් එකක් දීල කියන්න….”
“කියන්න දෙයක් නෑ…. ඌත් දැන් ටිකකට කලින් මට කතා කළා ෆොටෝස් දැකලා….”
ඇය කියද්දී ශෙනුල් ගැන සිතෙහි තිබූ කෝපය තවත් වැඩිවූයේ ඔහු මා මගේ මිතුරන් ඉදිරියේත් හෑල්ලු කර ඇති බැවිනි.
මන්දිතාගෙන් සමුගත් මා කළේ මුහුණු පොතට පිවිස එය පරීක්‍ෂා කිරීමය. ඒ වන විටත් මා ශෙනුල්ගේ මිතුරන් අතරට එක්ව සිටියේය. මගේ ජංගම දුරකතනය ඔහු අත තිබූ බව සිහිවූයේ එවේලේය. එසේ නම් ඔහු මගේ මුහුණු පොත් ගිණුම මෙන්ම ජංගම දුරකතනය ද පරීක්‍ෂා කරන්නට ඇත. ජංගම දුරකතනයට මුර පදය ලෙස දමා තිබුණේ ද මගේ ඇඟිලි සලකුණ බැවින් ඔහු මා නින්දේ සිටියදී එය ද ලබාගෙන මගේ ගිණුමට පිවිසෙන්නට ඇත.
අප විවාහ ගිවිසගැනීමෙන් අනතුරුව මුදු මාරු කරගන්නා අවස්ථාවේ ඡායාරූපයක් හා ඔහු මගේ කම්මුල සිපගන්නා ඡායාරූපයක් ඔහු විසින් මුහුණු පොතට එක්කර තිබුණේ ‘මගේ පණ” යනුවෙන් ද සටහන් කරමිනි.
මන්දිතා මෙන්ම මගේ මිතුරු මිතුරියන් රැසක්ම අපට සුබ පතා තිබිණි. ඇතැමුන් ඔවුන්ට නොකියාම විවාහවීම ගැන දොස් කියා දැමූ ප්‍රතිචාරයන් ද එහි විය. ඔහුව මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිතුණත් එසේ කිරීමෙන් වන්නේ ද මා ලැජ්ජාවට පත්වීමය.
“බෝනික්කී ඇයි මේ….? සනීප නැද්ද….?” දෙනත් පියාගෙන සන්සුන් කරගැනීමට උත්සාහ කරමින් සිටි සිත යළිත් සසල වූයේ දෙසවන් අසලින් ඔහුගේ හඬ ඇසෙද්දීය. සිතුවේ ඔහු එන විට සවස් වනු ඇතැයි කියාය. එහෙත් ඔහු සිතුවාට වඩා බොහෝ ඉක්මනින් පැමිණ ඇත.
ඔහුට පිළිතුරක් නොදී සිටියදී දැනුණේ ඔහු ද ඇඳේ මා අසලින් අසුන්ගත් බවය.
“බෝනික්කි….” ඔහු මිමිණුවේ මගේ කම්මුලකට ඒ උණුසුම් අතක පහස ද දැනෙද්දීය. එය ද නොදැනෙන සිටි මා එක්වරම දෙනෙත් විවර කළේ ඒ සුසුමන් ද කම්මුලට සමීපව දැනෙන්නට වූ බැවිනි.
“මේ මොකද ශෙනුල් මේ…. මොකද වෙලා තියෙන්නේ…. මට පාඩුවෙ ඉන්නදීල යනවද….”
“ඇයි බෝනික්කි මේ…. ඇයි කේන්නියෙන්….”
“කේන්ති යන්නෙ නැද්ද මනුස්සයො තමුන් කරන දේවල්වලට…. අර ෆොටෝස් එෆ්.බී දැම්මෙ මොකටද….?”
“ආ ඒකද මේ ඩෝං ගිහින් තියෙන්නේ…. ඇයි පරණ ප්‍රේමවන්තයා ඒව දැකල අප්සට් ගිහින්වත්ද….?”
“මගෙ පරණ ප්‍රේමවන්තයෙක් නෙවෙයි…. හැබැයි අර ඔයාගෙ හිටපු ප්‍රේමවන්ති වන්දනා නම් ඒව දැකල මට කෝල් එකක් අරන් බැණගෙන බැණගෙන ගියා….” මා කීවේ මුවට නැගි ඉකිය අසීරුවෙන් වළක්වා ගනිමිනි.
“මොකක් වන්දනා…. ඒකි මොකටද ඔයාට ගන්නේ….?”
“ඒ කෙල්ලට බොරු පොරොන්දු දීල රවට්ටල එයාගෙම යාළුවෙක්ව කසාද බැන්ද කියල දැනගත්තාම තරහ යන එක සාධාරණයිනෙ….”
“ෂිට් මේ ගෑනි…. මේකි දැන්වත් මට පාඩුවේ ඉන්න දෙන්නෙ නෑනෙ….” ශෙනුල් පැවසුවේ මිමිණුමක ස්වරයෙන් වුවත් එය මට ඇසිණි.
18 වන කොටසින් හමුවෙමු
❤️💗💗