1 කොටස
කාර්යබහුල දින පහක් අවසන උදා වන සති අන්තයේ නවාතැනට වී දහවල් වන තුරු නිදාගැනීම පසුගිය කාලය පුරාවට මගේ පුරුද්දක් වී නමුදු මෙවර සති අන්තය උදාවූයේ එහි වෙනසක් සමඟිනි. අළුයම 4.30ට තබා තිබූ එලාමය වදිද්දී අවදි වූ මා ඇඳෙන් බැසගත්තේ නිදිගැට ද කඩමිනි.
“අක්කි එනවා නේද….?” ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබී තිබුණේ නැගනියගෙනි.
“ඔව් එනවා චූටි….”
“හරි අක්කි අප්පච්චි අහන්න කිව්වා…. පරිස්සමින් එන්න….” මා පිළිතුරු යැවූ සැනින් ඇගෙන් යළිත් පණිවුඩයක් ලැබිණි.
මෙතරම් උනන්දුවෙන් මා හට නිවසට පැමිණෙන්නැයි කියන්නේ කුමක් නිසාදැයි අසන්නට සිතුණු නමුත් නැගනිය සතුව ද ඊට පිළිතුරක් නොවන බව දන්නා නිසාම මා ඒ ගැන නොඅසා උන්නෙමි.
නාන කාමරයට වැදී දිය නා තේ කෝප්පයක් පමණක් සකසාගෙන පානය කළ මා නිල් ඩෙනිම් කලිසමට සුදු පැහැ ටී ෂර්ටයක් ඇද කොණ්ඩය ද මුදුනට කර ගෙඩියක් සේ බැඳගෙන සූදානම් වී පිටකොටුව බස් නැවතුම වෙත ගොස් මහනුවර බලා ගමන් ගන්නා බස් රථයකට ගොඩ වීමි. අනතුරුව බ්ලූටූත් ආධාරයෙන් ජංගම දුරකතනයේ ගීතයක් ද අසමින් ඇස් පියාගතිමි.
මා මේ නිවසට යන්නේ මාස හයකට පමණ පසුවය. අප්පච්චීගේ අකමැත්තෙන් කොළඹ නගරයේ රැකියාවකට ආ පසු සති අන්තයේ නිවසටයාමට වඩා නවාතැනට වී නිදහසේ කාලය ගෙවීම මගේ පුරුද්ද විය. ඒ නිවසට ගිය ද අප්පච්චී මගේ මුහුණ නොබලන බැවිනි. අම්මා ගැන දුකක් සිතුන ද නිවසට යාම මා හට මානසික පීඩාවක් වී තිබිණි. පැය කිහිපයක ගමන අවසානයේ බස් රථයෙන් බැස කුලී රථයක නැගී මා නිවසට යන විට එහි තිබුණේ තරමක කලබලකාරී ගතියකි.
“මේ මොකද චූටි මේ…. ආ මේ සඳුනිත් ඇවිත්නේ….”
නැන්දනියගේ දියනියත් සමඟ එක්ව නිවසේ ඉදිරිපිට මල් පෝච්චිවල තිබූ වියලුණු කොළ කපා ඉවත් කරමින් ඒවා පිළිවෙලට තබමින් සිටි නැගනියගෙන් මම විමසීමි. නැන්දාගේ නිවස වූයේ අප නිවසට මදක් දුරිනි. නැන්දානම් අප නිවසට නිතර පැමිණිය ද ඇගේ දියනිය එසේ නැත.
“අද අප්පච්චිගෙ යාළුවො කට්ටියක් එනවා කියලනෙ අක්කි….”
“අප්පච්චිගෙ යාළුවො කට්ටියක්…. අපි දන්න අය නෙවෙයිද….?”
“ඉස්සර නම් මෙහෙ නිතර එන කට්ටියක් කියල අම්ම කිව්වා…. දැන් මේ එන්නෙ අවුරුදු ගාණකට පස්සෙලු…. අපි එයාලව දැක්කෙ පොඩි කාලෙ නිසා දැන් මතක නැතිව ඇතිලු….”
“ඒක නෙවෙයි ඇයි දන්නෙ නෑ නේද අප්පච්චි මට හදිසියේ එන්න කිව්වෙ….”
“ඒ යාළුවො අප්පච්චිගෙන් ඔයාවත් අහයි කියල තමයි අම්මට කිව්වේ ලොකූටත් එන්න කියන්න කියලා….”
නිවසට ඇතුළු වූ බෑගය ආලින්දයේම තබා කුස්සියට ඇතුළු වූයේ අම්මා එහි සිටින බව කෑම සුවඳින්ම දැනුණු බැවිනි.
“ආනේ ලොකු දූ…. මං ඒත් මේ මග බල බල හිටියෙ….”
“ඇයි දන්නෙ නෑ නේද අම්ම අප්පච්චි හදිසියේ මට ගෙදර එන්න කිව්වේ…. එයා දැන් මගෙ මූණ බලන්නවත් කැමති නෑනෙ….”
“එහෙම එකක් නෑ ලොකූ…. අප්පච්චි ඔයාල තුන්දෙනාටම ආදරෙයි…. ඔයා ජොබ් එකට ගිය එක ගැන අකමැත්තෙන් ඉන්න නිසා තමයි ගෙදර ආවම වැඩිය කතා නොකරන්නේ…. ඒත් හැමදාම අහනවා ලොක්කි කතා කළාද කියලා….” අම්මා කීවේ සුසුමක්ද හෙළමිනි.
“මම ගියේ රස්සාවකටනෙ අම්මා…. ඒත් අප්පච්චි හැසිරෙන්නේ මම කොල්ලෙක් එක්ක පැනල ගිහින් වගේ….”
“අප්පච්චි ඉස්සර ඉඳන්ම කිව්වෙ කෙල්ලො දෙන්නට උගන්නනවා…. ඒත් රස්සාවලට යවන්නෙ නෑ කියලනෙ දූ….”
“ඒත් අම්ම රස්සාවක් කරන එක වරදක් නෙවෙයි කියල ඇයි එයා තේරුම් ගන්නෙ නැත්තෙ….”
“හරි හරි දැන් මහන්සිත් ඇතිනෙ ඔයා වොෂ් එකක් දාන් එන්නකෝ…. මම තේ එකක් හදල තියන්නම්…. කට්ලට් හදපුවත් තියෙනවා….”
යළිත් ආලින්දයට ගොස් බෑගයත් රැගෙන කාමරයට යන්නට සූදානම් වෙද්දී නැන්දා ද පැමිණ අප නිවසට ඇතුළු විය. අප නිවසේ තීරණ ගැනීමේ තනි අයිතිය අප්පච්චි සතු වූ අතර, අම්මාට සිදුවූයේ ඔහු ගන්නා තීරණ අනුව කටයුතු කිරීමටය. පියාගේ වැඩිමහල් සොයුරිය වූ නැන්දා නිතරම අප නිවසේ කටයුතුවලට අතපෙවීම නිසා මා තුළ කුඩා කල සිටම ඇය කෙරෙහි වූයේ අකමැත්තකි.
මා ඇය හා සිනාසුණ ද ඇගෙන් මට හිමිවූයේ රැවුමක් පමණි. මා ඉක්මනින්ම එතැනින් ඉවත් වූයේ ඇය කිසිත් පවසන්නට පෙරය. මා රැකියාවට ගොස් වසරකට වැඩි කාලයක් ගතවීත් තවමත් මුණ ගැසෙන සෑම තැනකදීම මා පවුලේ නම්බුව විනාශ කළ බව කියමින් ඇණුම් පද කීම ඇගේ පුරුද්දක් වී තිබිණි.
මා දිය නා කාමරයට එන විටත් අම්මා කට්ලට් කිහිපයක් දැමූ තසිමක් සමඟ උණු උණු කිරි කෝප්පයක් කාමරයේ තබා ගොස් තිබිණි.
අප්පච්චීගේ දැඩි නීති නිසාම පීඩාවට පත්වූ අපට තිබූ එකම සැනසීම අම්මාගේ ආදරය පමණි. අයියා ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබද්දී හමුවූ පෙම්වතිය හා විවාහ වී විදේශගත වූයේ රැකියාවක නිරත නොවී පවුලේ ව්‍යාපාරවලට එක්වන ලෙස අප්පච්චීගෙන් එල්ල වූ දැඩි පීඩනයෙන් මිදෙන්නට මෙනි.
මා රැකියාවක් සඳහා කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ කාර්යාලයකට යොමු කළ අයදුම්පතකට අනුව සම්මුඛ පරීක්‍ෂණයක් සඳහා කැඳවා ඇති බව පැවසූ දිනයේ අප්පච්චි හැසිරුණේ පෙර කිසි දිනෙක නොදුටු තරමේ ආවේගයකිනි.
“අපේ පවුල්වල ගෑනු රස්සාවල්වලට ගියේ නැහැ කවදාවත්…. ඒක අපේ පවුලේ නම්බුවටත් හො නෑ…. ඒ නිසා ලොකූ රස්සාවල්වලට යන්න ඕනෙ නැහැ…. තව ටික දවසකින් මම ඔයාට හොඳ තැනකින් කටයුත්තක් ලෑස්ති කරන්නයි ඉන්නේ…. හිතේ තියෙන මනස්ගාත අතඇරල දාල ඒ ගැන හිතුවොත් හොඳයි….”
“අනේ අප්පච්චි මට දැන්ම නම් බඳින්නෙ බෑ….”
“ඇයි බැරි…. දැන් ඕනෙ විදියට නැටුවා හොඳටම ඇති…. අනික කාගෙන් අහලද රස්සාවල්වලට ඉල්ලුවේ….” ඔහු ඇසුවේ මා අසලටම එමිනි.
ඔහු ආ වේගයට කම්මුල් පහරක් වදිනු ඇතැයි බලාපොරොත්තුවෙන් තත්පර කිහිපයක් නෙත් වසා බලා සිටිය ද ඇසුණේ මා වෙතට පැමිණි අප්පච්චිගේ බර අඩි නැවත මගෙන් ඈතට ඇදෙන බවකි.
“රස්සාවක් නොකර ගෙදර ඉන්න නම් අප්පච්චි වියදම් කරලා අපිට ඉගැන්නුවෙ ඇයි….?” ඔහු කෝපයෙන් සිටියත් නිහඬව සිටින්නට නොසිතුණු තැන මා විමසුවේ යළිත් ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලමිනි.
නිහඬව සිට ඔහුගේ කැමැත්තට ඉඩ දී අනාගතයේ නිවසකට කොටුව අම්මා මෙන් ජීවත් වනවාට වඩා සටන් කර හෝ නිදහස සොයායාම ඒ වන විටත් මගේ අරමුණ වී තිබිණි.
“ලොකූ….” අම්මාගේ බියපත් හඬ ඇසුණ ද ඒ ගැන හෝ අවදානය යොමු කරන්නට මට අවැසි නොවිණි.
අයියාටත්, නංගීටත් වඩා හිතුවක්කාරියක වූ මා හට අප්පච්චි කී දෙයක් එකවර පිළිගෙන පුරුද්දක් කුඩා කල සිටම තිබුණේ ද නැත.
“ඉගැන්නුවෙ අපේ පරම්පරාවෙ ගෑනු පිරිමි කවුරු වුණත් උගත්තු වෙන එක වටින නිසා…. නැතුව කොළඹ රස්සාවලට ගිහින් පරම්පරාවෙ දැලි ගාන්න නෙවෙයි….”
“රස්සාවකට ගියා කියලා පරම්පරාවට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ අප්පච්චි…. අනික මේ හොඳ කම්පැනියක හොඳ පෝස්ට් එකක්….”
“මම කියන්න ඕනෙ දේ කියල ඉවරයි දූලගෙ අම්මේ…. මම මෙයා ගැන තීරණයක් අරන් ඉවරයි කියලා ඔයාගෙ දෝණිට කියල දුන්නොත් හොඳයි….” අප්පච්චී එතැනින් පිටව ගියේ මා දෙස රවා බලමිනි.
ඉන්පසු ඒ ගැන නිවසේ දී කතා කිරීම ද අපට තහනම් වී තිබිණි. මා සම්මුඛ පරීක්‍ෂණය සහභාගී වූයේ හොර රහසේ නිවසින් පැන ගොසිනි.
සම්මුඛ පරීක්‍ෂණයට දිනකට පෙර මා කොළඹ පදිංචි මිතුරියකගේ නිවසට ගියේ ඒ බව පවුලේ අයට දන්වා කුඩා සටහනක් පමණක් මේසය මත තබමිනි. එය දුටු නැගනියගෙන් ඇමතුමක් ලැබෙන විටත් මා නිවසින් බොහෝ දුරට ගොස් අවසන්ව තිබිණි.
“ඕකිට ආයෙත් මේ ගෙදර එන්න බෑ…. මට එහෙම දරුවෙක් හිටිය කියන එකත් මම අමතක කරල දානවා…. මගෙ දරුවෙක් නම් ඉන්න ඕනෙ මම කියන විදියට….” කියමින් අප්පච්චි එදින සාලයේ වූ බඩු මුට්ටු පවා පොළවේ ගැසූ බවත්, අම්මා පපුවේ අත් ගසාගනිමින් හඬා වැටෙන බවත් කීවේ නැගනියය. ආපසු නිවසට එන ලෙස ඇය කොතෙක් ඇවටිලි කළ ද ඉදිරියට තැබූ පය ආපස්සට ගැනීමේ සිතක් මට වූයේ නැත.
මා යළි නිවසට පැමිණියේ පළමු පඩිපත අතට ගැනීමෙන් පසුවය.
අප්පච්චීට කමිසයක්, අම්මාට සාරියක් සමඟ නැගනියට ගවුමක් මිලදී ගෙන මා නිවසට එන විටම ඉස්තෝප්පුවේ සිටි අප්පච්චි තිගැස්සෙනු පෙනිණි. මා දෙස මොහොතක් බලා සිටි ඔහු නිවස පුටුවෙන් තුළට ගියේ මා තුළ බිය මුසු හැඟීමක් ද ඇතිකරමිනි.
“දෙවියනේ ලොකූ…. මෙච්චර කල් අම්මව මතක් වුණේ නැද්ද රත්තරනේ….” අම්මා පැමිණ මා වැළඳගෙන නිවස තුළට කැඳවාගෙන යද්දීත් සිතුණේ අප්පච්චී පැමිණ මා නිවසින් එළියට ඇද දමනු ඇති බවය.
ඒ දැඩි හිත තුළ මාගේ පැමිණීමක් ගැන බලාපොරොත්තුවක් තිබූ බව සිතුණේ ඔහුගෙන් එවන් ප්‍රතිචාරයක් නොලැබුණු නිසාමය. ඒත් ඔහුගෙන් වදනක් අසන්නට ලැබුණේ නැත. තෑගි ලෙස ගෙනා කමිසය සහිත බෑගය රැගෙන ඔහු අසලට යන විට ද ඔහු කළේ මා දෙස රවා බලා කාමරයට ගොස් දොර වසා ගැනීමය. ඉන් පසුවද කිහිප වරක් නිවසට පැමිණි නමුත් ඔහු හා මා අතර කිසිඳු කතා බහක් ඇති නොවූ තරම්ය.
අතීත මතක අතරේම මා නින්දකට වැටුණේ ගමන් මහන්සිය ද දැනෙමින් තිබූ බැවිනි.
“ලොකූ නැගිටින්නකො පුතේ….”
මා අවදිවූයේ අම්මා පැමිණ කතා කරද්දීය.
“ඇයි අම්මා….”
“අද රෑ කෑමට අප්පච්චිගේ යාළුවෙකුයි එයාගෙ ගෙදර අයයි එනවා…. ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙන්න…. මේ ගවුමක්ම ඇඳගන්න පුතේ….”
“ඇයි අම්මා ගවුමක්….”
“අප්පච්චිගෙ පරණ යාළුවෙක් එන්නේ…. සමහර විට ඔයාටත් මතක ඇති…. ආවම බලන්නකෝ….”
පැමිණෙන අමුත්තන් ඉදිරියේ පෙනී සිටින්නට කැමැත්තක් නොවුණත් ඔවුන් පැමිණෙන්නට පෙර සූදානම්ව නොසිටියොත් අප්පච්චිගෙන් අම්මාට බැණුම් අසන්නට සිදුවනු ඇතැයි සිතුණු නිසාම මම ඇඟ සෝදා වැලමිට අසලට දිගු ලේස් අතකින් යුතුව මසා තිබූ රෝස පැහැ දිගු ගවුමක් ඇඳ ගතිමි.
නැගනිය විනුලි ද නැන්දාගේ දියණිය වූ සඳුනි සමඟ කාමරයට පැමිණියේ සූදානම්වීම සඳහාය.
“මේ මොකක්ද වෙන්නෙ කියල කියනවලකො හලෝ…. මට ගෙදර ආව වෙලේ ඉඳල කරකවල අතෑරලා වගේ…. මෙච්චරම ලෑස්ති වෙලා ඉන්න කවුද අද එන අප්පච්චිගෙ යාළුවා….” මම නැගනියන් වෙත හැරෙමින් විමසුවෙමි.
“ඒ කවුද කියල නම් අපිත් හරියටම දන්නෙ නෑ සිතුලි අක්කේ…. ඒත් මේ පවුලත් එක්ක ගොඩක් ළඟින් හිටිය මාමගෙ පරණම යාළුවෙක්ලු…. අපේ අම්මත් දන්නව කිව්වේ….” නැගනියගේ වයසේම පසුවූ සඳුනි කීවේ නැගනිය දෙස බලමිනි.
“අනික මේ ඒ අන්කල්ගෙ පුතත් එනවලු…. හැන්ඩියෙක් ද දන්නෙ නෑ නේද සඳූ….” නැගනිය කීවේ සඳුනි දෙස බලා ඇසක් වසා ඉඟි කරමිනි.
පියා ඉදිරියේ අහිංසකියක ලෙස සිටිය ද නිවසින් පිටතදී මෙන්ම අප හා කටයුතු කරද්දී නැගනිය කටකාරියක වූවාය.
“අනේ මන්ද…. මෙයාටත් ඉතින් කොල්ලෙක් ගැන කිව්වොත් වෙන දෙයක් නෑ….” නැගනියගේ හිසට ටොක්කක් ද අනිමින් කී මම කොණ්ඩය පීරා රෝස පැහැ කොණ්ඩ බෝලයක් ද දමාගතිමි.
“ආ මේ මෙයත් ඇවිත් ඉන්නේ…. අදවත් පවුලෙ නම්බුව ගැන හිතලා හැසිරුණොත් හොඳයි….”
නැන්දා පැවසුවේ නැගනියන් සමඟ පියගැටපෙළ බැස සාලයට පැමිණි මගේ මුහුණට එබෙමිනි.
“මොකක්ද නැන්දෙ ඔයාට මේ වෙලා තියෙන්නෙ…. ගෙදර ආවොත් ඇණුම්පද කියනවා….” මා පැවසුවේ ඇගේ වදන් ඉවසිය නොහැකිම තැනය.
“ඇණුම්පද කියන්නෙ කරපු දේවල් නිසානෙ…. අපේ පරම්පරාවෙ කවුරුත් කරපු දෙයක් ද මේ කළේ…. මම මේ කල්පනා කරන්නෙ අද එන ජයනාත්ලගෙ ගෙදර අය ඔයාගෙ කෙරුවාව ගැන දැනගත්තාම මොනව හිතයිද කියලා….”
“ඒ එන අය කවුරු වුණත් එයාලට මම කරද දේවල් වැඩක් නෑනෙ නැන්දේ… අනික මම ගියේ රස්සාවකට මිස කොල්ලෙක් එක්ක පැනල නෙවෙයිනෙ…. ඔයා දන්නෙ නැති වුණාට මම කරන්නෙ වැදගත් රස්සාවක්….”
“ලොකූ….” අපගේ හඬ ඇසීදෝ කුස්සියෙන් පිටතට එබෙමින් කෑ ගැසුවේ අම්මාය. අනතුරුව මා දෙනෙත් නැවතුණේ අපට මදක් දුරින් සිට මා දෙස බලා සිටි පියා අසලය.
“ඔයා ඔය ළමයිනුත් එක්ක එකතු වෙලා කෑම මේසෙ වැඩ ටික බලන්න සුධර්මා….” ඔහු අම්මාට පැවසුවේ කතාව වෙනතක යොමු කරන්නට මෙනි.
අම්මා කෑම කාමරය දෙසට යද්දී මා ද ඒ පසුපසින් වැටුණේ නැන්දනියට ගස්සමිනි.
එළවළු බත්, කුකුල් මස් ව්‍යාංජනය, කජු, බටු මෝජුවක්, පරිප්පු, තෙල් දැමූ අල, කට්ලට්, පපඩම් ආදියෙන් යුත් කෑම මේසය ඉතා සරුසාර එකක් විය.
ගමේ ඕනෑම උත්සවයකදී කෑම සැකසීමේ කාර්යය භාර වන නන්දනී නැන්දා ද කුස්සියේ සිටිනු මා දුටුවේ ඒ මොහොතේය.
“කොහොමද නැන්දේ….”
“හොඳින් ඉන්නවා සුදු නෝනා…. සුදු නෝනට කොහොමද දැන්…. කොළඹ ලොකු ඔපීසියකනෙ නේද වැඩ කරන්නේ….”
“ඔව් නැන්දේ…. නැන්දට කොහොමද….”
“යසයි සුධර්මා ළමයි හදල තියෙන විදිය…. ගෙදර වැඩ කරන උනුත් නැන්දා…. මේ මමත් නැන්දා….” කියමින් නැන්දා ද අප අසලට එනවිට මුවට නැගි සිනාව අසීරුවෙන් මැඩගනිමින් මා අම්මා දෙස බලද්දී ඇය දෙනෙතින් ඉඟි කළේ කිසිවක් නොකියන ලෙසය.
මිදුලෙහි මෝටර් රථයක් නවතන හඬ ඇසෙද්දීම නැන්දා කුස්සියෙන් පිටව ගියේ ඇඳ සිටි ඔසරිය ද සකසමින් ඉදිරියට ගියේ ඇය නිවසේ ගෘහ මූලිකයා ලෙස හැසිරෙමිනි. එදා සිටම අප පවුලේ අම්මා පෙරමුණ ගත යුතු බොහෝ තැන්වල ඇය පෙරමුණ ගනිද්දී අම්මා නිහඬවම සිටීම ගැන විටෙක මා තුළ කෝපයක් පවා ඇතිවුවත් කළ හැකි කිසිත් නොවූයේ එයට එරෙහිවීමට අම්මා තුළ වූ අකමැත්ත නිසාවෙන්මය.
“කෝ සුධර්මා…. ඔයා තාම කෑම හදනවද….” අම්මා සොයාගෙන කුස්සියටම පැමිණි කාන්තාවක් ඇය වැළඳගනිද්දී මා බැලුවේ එදෙසය. ඇය දැක පුරුදු බව සිතුනත් එක්වරම ඒ කවුදැයි සිහිවූයේ නැත.
“ආනේ කොහොමද මානෙල්…. කොච්චර කාලෙකට පස්සෙද ඉතින්…. මම මේ ඉස්සරහට එන්න හැදුවා විතරයි….”
“ඒකනෙ මම හිතන්නෙ අවුරුදු 20කට විතර පස්සේ…. මම එද්දි බලන් ආවෙ අපි හිටපු ගෙවල් පැත්ත…. ඒවත් ගොඩක් වෙනස් වෙලා දැන්….”
“ඔව් ඔයාලගෙන් ගත්ත අය ගේ අලුතෙන් හැදුවනේ….”
“මෙහෙන් ගියාට පස්සෙ ජයේට හදිසියේ ඉන්ග්ලන්ඩ් යන්න සෙට් වුණ නිසා අපිටත් ආයෙ ඇවිත් යන්නවත් බැරි වුණානෙ…. ඊට පස්සෙ ඉතින් දුවගෙයි පුතාගෙයි ස්ටඩීසුයි ජයේගෙ ජොබ් එකේ වැඩයි නිසා අපි මෙහෙ ආවත් දවසින් දෙකෙන් ආපහු යනවා….”
“ඔව් මානෙල් ළමයි ලොකු වෙද්දි නිදහස් කියල හිතුවට එයාල ලොකු වෙන්න ලොකු වෙන්න අපි බිසී වෙනවා නේද…? ඔයා ගියාට පස්සෙ මට තමයි ඉතින් කතා බහ කරන්නවත් කෙනෙක් නැති වුණේ….” එසේ නම් ඇය හා අම්මා අතර එදවස ඉතා සමීප ඇසුරක් තිබී ඇත.
“ඇයි ඔයාගෙ නෑණන්ඩි තාමත් ඉස්සර වගේම වංශෙ කබල් ගා ගත්ත ගමන්ද ඉන්නේ….” එම කාන්තාව ඇසුවේ අම්මාගේ කන අසලටම මුව ළං කර රහසින් මෙනි.
“අපෝ එයා ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ…. මම ඉස්සර වගේම මගේ පාඩුවේ ඉන්නවා….” අම්මා ද කියද්දී ඇය සිනාසෙමින්ම මා සිටි දෙසට හැරුණාය.
“ආනේ….. මේ අපේ බෝනික්කිද සුධර්මා….” අනතුරුව මා අසලට පැමිණි ඇය ඇසුවේ මා වැළඳගෙන කම්මුලක් ද සිප ගනිමිනි.
“ඔව් මානෙල්….මේ ඉන්නෙ ලොක්කි තමයි…. පුතා නම් ඉතින් ලංකාවෙ නෑනෙ…. පොඩ්ඩි ඉපදෙද්දි ඔයාල මෙහෙන් ගිහින්….” අම්මා පැවසුවේ ආඩම්බරය මුසු හඬකිනි.
“ඒක නෙවෙයි…. කෝ ශෙනුල් පුතා ආවෙ නැද්ද….” අම්මා අසද්දීම මා තැගැස්සී නොගියා යැයි කිවහොත් බොරුවකි.
“ආව ආවා…. එයාගෙ උවමනාවටමනෙ අපි මේ හදිස්සියෙ මෙහෙ ආවෙත්….”
“ශෙනුල්….” ඒ ඔහුද නැතිනම් වෙනත් අයකුදැයි සිතට නැගි පැනය විමසන්නට නොහැකි බැවින් මම එය සිත තුළම සිරකර ගතිමි.
“එහෙනම් අපි යමුද ඉස්සරහට….” මානෙල් නමින් අම්මා ඇමතූ ඇය ඉස්සර වූයේ මගේ අතකින්ද අල්ලා ගනිමිනි.
2 වන කොටසින් හමුවෙමු
2023 වසරේ ඔයාල හැමෝගෙම ප්‍රාර්ථනා ඒ විදියටම ඉෂ්ට වෙන්න කියල මුලින්ම සුබ පතනවා.