1999 නොවැම්බර් 7
අද අපි කාබනික ගොවිපොළක් බලන්න ගියා. ඒකෙ නම ලෙමන් ෆාර්ම්. මේක තායිලන්ත රජතුමාට අයිති ගොවි පොළක්. සාමාන්‍ය ජනතාවට වගා කරන ආකාරය උගන්නන්න පවත්වාගෙන යන එකක්ලු. සමහර වගාවන් කරලා තිබුණේ දැල් දාලා වට කරපු ග්‍රීන් හවුස්වල. මෙහෙම වගා කරනකොට කෘමීන් මර්දනය කරන්න වගේම බෝගවලට අවශ්‍ය දේශගුණය නිවැරදිව ලබා දෙන්නත් පහසුයි කියලා ගොවිපොළේ ප්‍රකාශකයෙක් අපිට කියලා දුන්නා.
ගොවි පොළ වටේටම පැඟිරි පඳුරු වගා කරලා තිබ්බා. මේවා කප්පාදු කරනකොට එන සැර සුවඳට කෘමීන් එන්නෙ නැතිලු. විශේෂයෙන්ම මදුරු මර්දනයට පැඟිරි යොදා ගන්නවා කියලා කිව්වා. කොහොඹ ඇට කිලෝ එකකට වතුර ලීටර් 20 ක් දාලා පැය විසි හතරක් තියලා හවසට වගාවට ඉහිනවලු. සතියකට වරක් ඉස්සාම කෘමීන් මර්දනය වෙනවලු. පසේ අම්ල ගතිය නැති කරන්නේ ඩොලමයිට්, අළුහුණු මිශ්‍ර කරපු පොහොර යොදාගෙනලු. ඇත්තටම බොහොම සරු වගාවක් තිබුණෙ.
ගොවිපොළ අවශ්‍ය එළවළු ගොවි පොළෙන්ම නෙලාගෙන ඇවිත්, ඉස්සරහ තියෙන වෙළෙඳ කුටියෙන් කිරාගෙන මුදල් ගෙවලා අරගෙන එන්න පුළුවන්. අපිටත් එහෙම එළවළු අරගෙන එන්න කියලා ඩොක්ටර් කෙම්මානි කිව්වා. දයානියි මමයි ගෙනාවෙ නිවිති. ඒවා දවල්ට අපිට උයලා දෙනවා කියලා අපෙන් උයන ක්‍රමය ඇහැව්වා. දයානියි මායි මාරුවෙන්මාරුවට කිව්ව රෙසිපි අහලා ඩොක්ටර්ට ඔළුවේ අමාරුව හැදෙන්න ඇති.. කොහොම වුණත් දවල් කෑමට නිවිති හොද්දක් තිබ්බා.
හවස අපි වීක් එන්ඩ් මාර්කට් එකට යන්න පිටත් වුණා.
“ඔය කොල්ලො රෙඩ් ස්ටී්රට් එක පැත්තෙ එහෙම යන්න එපා..”
අපි පීචි ගෙස්ට් හවුස් එකෙන් එළියට බහිනකොට මල්ලිකා හිනා වෙවී කිව්වෙ පිරිමි කණ්ඩායමට. මල්ලිකා තමයි ඇග්‍රොමාට් පදනමේ තායිලන්ත සංචාරය භාරව ඉන්න නිලධාරිනිය. මේ වෙනකොට එයා කීප සැරයක්ම ඇවිත් තිබුණා. තායිලන්ත සංස්කෘතිය, කෑමබීම ගැන ඇයට හොඳ අවබෝධයක් තිබුණා.
“අපි යනවාමයි මිස්.. මොකද එයාර් පෝර්ට් එකෙන් එනකොටම අපිට තොරතුරු හම්බ වුණානෙ..” කටකාරයෙක් කියනකොට පිරිමි කණ්ඩායමම හිනා වුණා. ගෑනු අපි මූණෙන්මූණ බලා ගත්තා. අපි බැංකොක් එයාර් පෝර්ට් එකෙන් එළියට එනකොට එතන හිටිය තායිලන්ත ජාතිකයෙක් බෑග් එකක දාපු පොත් කට්ටලයක් බෙදුවා. මම හිතුවේ තායිලන්තෙ ගැන විස්තර වෙන්න ඇති කියලා.
“පිරිමින්ට විතරයි..” ඒවා බෙදපු මිනිහා හිනා වෙලා කිව්වා.
“මොනවද කපිල ඒ පොත්වල තිබ්බෙ..?” මං එදා රෑ කෑම වෙලාවෙදී කපිලගෙන් ඇහැව්වත් එයා හිනා වෙලා අහක බලා ගත්තා විතරයි. මල්ලිකා රතු වීදියට යන්න එපා කිව්ව එකෙයි මේ පොත් කට්ටලෙයි මොකක් හරි රහසක් ඇති කියලා මට හිතුණා. යම් දෙයක් ගැන කුතුහලයක් දැනුණම ඒක අමතක කරලා දාන්න මට බෑ. ඒකෙ අගමුල හොයන්නම හිතෙනවනෙ.
“මම කොහොම හරි ඔය පොත් ටික බලනවාමයි..” මම දයානිට කිව්වා. දයානිත් හිනා වුණේ ඇයත් මොනවා හරි දන්න හින්දා වෙන්න ඇති කියලා මට හිතුණා. මම ඒ වෙලාවේ ඒක අමතක කරලා ගමන පිටත් වුණා.
බැංකොක් වගේ මෙච්චර කාර්යබහුල නගරයක් මෙච්චර පිරිසිදුවට තියෙන්නෙ කොහොමද කියලා අපිට හිතුණෙ අපේ රටේ ප්‍රධාන නගරවල අපිරිසිදුකම මතක් වුණාමයි. මල් වීදියට ගියාම අපිට පිස්සු හැදුණේ නැති එක විතරයි.. පාර දෙපැත්තෙම කූඩාවල විවිධ වර්ණයේ, විවිධ වර්ගයේ මල්.. මගෙ හිත ගියේම ලොකු පිච්ච කැකුළුවලට. මම කවදාවත් ඒ තරම් ලොකු පිච්ච දැකලා තිබුණෙ නෑ.. දාස් පෙතියා අපි සාමාන්‍යයෙන් දකින ඒවා නෙමෙයි. තවත් නම නොදන්න හුඟක් මල් වර්ග තිබුබා. ඒත් විස්තර අහන්න භාෂාව හරස් වුණා. මොකද හුඟක් තායිලන්ත ජාතිකයන්ට ඉංග්‍රිසි වචනයක්වත් බෑ.
සමහර වීදිවල පාර දෙපැත්තෙම කෑම වර්ග විකුණනවා. ඒත් කිසිම තැනක අපිරිසිදුවක්වත්, අපිළිවෙලක්වත් දැක්කෙ නෑ. කෑම බදින එක තැනක කූඩයක් ඇතුළෙ තිබ්බ දෙකට පළලා වේලපු ගෙඹි මස් දැක්කම මට ඔක්කාරෙට ආවා. සංචාරයත් එපා වුණා. මිනිස්සු එතනම දාපු පුටුවල ඉඳගෙන සෝස් එක්ක ගෙඹි මස් කනවා. අපේ කණ්ඩායමේ හැමෝම ඉක්මනට එතනින් ගියා. මම නම් ගියා නෙමෙයි එතනින් දිව්වා. මම විද්‍යා අංශයෙන් ඉගෙන ගත්ත කෙනෙක්.. ඒ කාලෙ ගෙම්බොත් කැපුවා.. ඒත් මට ගෙඹි මස් මතක් වෙනකොට තවමත් බඩ දඟලනවා වගේ.
“ඕක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයි.. මිනිස්සු එකඑක සත්තුන්ගෙ මස් කනවා.. අපේ රටෙත් සමහරු හරක් මස් කනවා ඌරු මස් කන්නෙ නෑ.. සමහරු කුකුල් මස් කනවා අනිත් මස් කන්නෙ නෑ.. ඉතින් මේවත් අපි නොකන අනිත් අය කන දෙයක් කියලා හිතන්න.. එච්චරයි..” මම රෑ කෑම කන්නත් අදිමදි කරනකොට මල්ලිකා කිව්වා.
චන්දි කොඩිකාර
Pictures – by Google