1999 නොවැම්බර් 9 ඊයේ හවස අපිට ග්‍රෑන්ඩ් පැලස් බලන්න යන්න ලෑස්ති වෙන්න කිව්වා. තායිලන්තයේ තියෙන ලොකුම පන්සලලු. නිල් මැණික් බුදු පිළිමයකුත් තියෙනවලු. අපි පන්සල් යන්නෙ සපත්තු ගලවලා වුණාට ග්‍රෑන්ඩ් පැලස් එකට යන්න සම්පූර්ණයෙන්ම කකුල් වැහෙන්න සපත්තු දාන්න කිව්වා.
අපි ලෑස්ති වෙලා ඇවිත් වෑන් එකට නැංගම අපේ ව්‍යවසායිකාවක් වුණ රෝහිණි අඬනවා එයාගෙ පර්ස් එක නැති වෙලා කියලා. සල්ලි මාරු කරන්න බැංකුවට ගියාම බැංකුවේ අමතක වුණාලු. ඩොක්ටර් කෙම්මානි කිව්වා බැංකුවට ගිහින් බලමු කියලා. රෝහිණීට ඉංග්‍රිසි කතා කරන්න අමාරු හින්දා මටයි දයානිටයි දෙන්නටත් එන්න කිව්වා. මොනවා කරන්න ද ඉතින්..? අනිත් අය ඔක්කොම ග්‍රෑන්ඩ් පැලස් එක ළඟ බැස්සා. ඒක මහ විශාල මාලිගාවක්..
හැබැයි අපේ පන්සල් ආසන්නයේදී දැනෙන බැතිබර හැඟීම දැනෙන්නෙ නෑ. පන්සල්වල බුදු පිළිමවල වෙනසයි, ගොඩනැඟිලිවල සංකීර්ණ ස්වභාවයයි හින්දා වෙන්න ඇති කියලා මට හිතුණා.
අපේ බැංකුවල වැඩ කරන අයට ඉංග්‍රිසි භාෂාව ගැන මොන තරම් දැනුමක් තියෙනව ද කියනවා නම් සමහර වෙලාවට අපිට හිතෙනවා එයාලා සිංහල දන්නෙත් නැද්ද කියලා.. ඒත් මෙහෙ හැමෝම කතා කරන්නෙ තායි භාෂාවෙන්. ඉංග්‍රිසි දැනුම අල්පයි. ඩොක්ටර් කෙම්මානි තායි භාෂාවෙන් කතා කරලා ඒවා අපිට ඉංග්‍රිසි භාෂාවෙන් කිව්වා. අපි රෝහිණීට සිංහලෙන් පැහැදිලි කළා. සෑහෙන වෙලාවක් බැංකුවේ ගත කෙරුවත් අපිට පර්ස් එක හොයා ගන්න බැරි වුණා.
“රෝහිණී, ඔයා ගිහින් හොඳට බෑග් චෙක් කරලා බලන්න.. මටනම් හිතෙන්නෙම ඔයා පර්ස් එක බෑග් එකක දාලා ඇති..” දයානි කිව්වා.
ඒත් රෝහිණී සනසන්න ලේසි වුණේ නෑ.. ඇත්තනෙ ඉතින්. අපි තව සති දෙකක් තායිලන්තෙ ඉන්න ඕන.. සල්ලි නැතුව මොනවා කරන්න ද..? ඒත් පර්ස් එක හම්බ වෙයි කියන බලාපොරොත්තුව අපේ හිත්වල තිබ්බා. අපි ආපහු පීචි ගෙස්ට් හවුස් එකට ආවා. රෝහිණී නම් ආව ගමන් කාමරේට ගියා. ග්‍රෑන්ඩ් පැලස් බැලීමේ ආශාව දයානිගෙයි මගෙයි හිත්වලින් මැකිලා ගියෙ නෑ.
“දැන් ගියාට වැඩක් නෑ.. ඔයාලට කට්ටිය මඟ ඇරෙයි.. අනිත් එක තව වැඩි වෙලාවක් නෑ ගේට්ටුව වහන්න..” ඩොක්ටර් කෙම්මානි කිව්වම අපේ උනන්දුව තවත් වැඩි වුණා. අන්තිමට අපි දෙන්නගෙ පෙරැත්තය ඉවසන්න බැරි හින්ද ද කොහෙද කෙම්මානි වෑන් එකේ ඩ්‍රයිවර්ට කිව්වා අපිව ගිහින් දාන්න කියලා.. ඇත්තටම ග්‍රන්ඩ් පැලස් එකේ බලන්න හුඟක් දේවල් තිබ්බා. ඒත් වෙලාව මදි හින්දා අපිට යන්න පුළුවන් වුණේ නිල් මැණික් පිළිමේ තිබ්බ කොටසට විතරයි. ඒ පිළිමේ අනිත් ගොඩාක් පිළිමවලින් වට වෙලා හින්දා කැපිලා පේන්නෙ නෑ. ඒත් ආකර්ෂණීය නිල් පාටක් තිබුණා.
අපේ කණ්ඩායමේ අය නම් හැම තැනම ඇවිදලා තිබුණා. ඒක රාජවංශ කීපයක්ම වාසය කරපු මාලිගාවක්ලු. වැඩි විස්තර හොයා ගන්න බැරි වුණ දුක මට දැනුණා. කවදා හරි දවසක තායිලන්තෙ ඇවිත් දවසක්ම ඇවිදලා විස්තර හොයා ගන්නවා කියලා මම කිව්වම දයානි කිව්වා එයත් එන්නම් කියලා.
අපි අද උදේ පහට බැංකොක්වලින් පිටත් වුණා. අපිට වැඩියෙන්ම දැනුණෙ පීචි ගෙස්ට් හවුස් එකෙන් පිට වීමේ සතුට. එක දිගටම කිලෝ මීටර් 107 ක් විතර ඇවිත් උදේ කෑමට සරාබුරිවල නතර වුණා. පහු ගිය දවස් තුනේම උදේට කැවෙ පාන්. ඒවා එච්චර හරි නෑ. ඊයෙ උදේටනම් බත් හම්බ වුණා. ඒත් බත් කන්න තිබ්බ වෑංජන දැක්කම කෑම රුචිය නැතුව ගියා.
ඊට පස්සෙ අපි නකෝරටක්ෂිමා පළාතේ මැටි නිෂ්පාදන ආයතනයක් බලන්න ගියා. ඒකේ හරිම ලස්සන මැටි නිෂ්පාදන තිබ්බා. අපේ අය කණ්ඩායම් හතරකට බෙදිලා මැටි පබළු මාල, කී ටැග්ස් හදන හැටි පුහුණු වුණා. මම හැදුවා මාල දෙකක්, බ්‍රේස්ලට් එකක්, කී ටැග්ස් තුනක්. එයාලා ඒවා අපිටම තෑගි දුන්නා.
අපි දවල් කෑම කෑවෙත් එතනම තිබ්බ රෙස්ට් හවුස් එකකින්. හැම තැනම තියනේනෙ එකම විදියෙ කෑමමයි. අපි ගැලපෙන්නෙ නෑ කියලා හිතන එළවළු කීපයක් එකට දාලා හදපු වෑංජන, බැදපු මාළු, කුකුල් මස්, ඉස්සො, දැල්ලො.. මම නම් එළවළු ඇරෙන්න අනික් දේවල් දිහා බැලුවෙවත් නෑ. ඒ ඔක්කොමත් හරි ඒ තෙල්වල ගඳ මගේ ඔළුව කරකවනවා.
අපි හවස ගියා පොඩි කන්දක් මුදුනෙ තිබ්බ නටබුන් විහාරයක් බලන්න. පැරණි බෞද්ධ සිද්ධස්ථානයක් කිව්වට ඒකෙ තියෙන්නෙ හින්දු ලක්ෂණ. ගවයෙකුගෙ පිළිමයක්, ශිව ලිංගයක් තිබුණා. තායිලන්තෙ අය කියන්නෙ ඒ ස්ථානය රාමරාවණා කතාවටත් සම්බන්ධයි කියලා. රාවණා හිටියෙ තායිලන්තෙ කියලා ඒ අය විශ්වාස කරනවා. සමහරු සීගිරිය වගේ කියලා කිව්වට මටනම් හිතෙන්නෙ කවදාවත් සීගිරියේ ගිහින් නැති අය තමයි එහෙම කියන්නෙ කියලා.
Chandi kodikara