මල්වතු විහාරයේ සිට මල්වත්තේ බිසෝ මාළිගයට යමින් සිටි පිළිමතලව්වේ මහාදිකාරම, ටිගොල් වෙල අද්දර සිටි පිරිස දැකීමෙන් කුහුලට පත්ව සිය අසු නතර කළේය. ඇස් නිලංකාර කළ හිරු එළිය අතින් මුවා කරගත් ඔහු ටිගොල්වෙල සිසාරා බැලුවේය.
“මූලාචාරි..”
දේවේන්ද්‍ර මූලාචාරි හඳුනාගත් මහාදිකාර හිස දෙපසට සැලුවේ විමතියෙනි.
“ඔහු කුමක්ද මේ රජවාසල මිනිස්සුත් එක්ක මෙතන කරන්නේ..?”
ඔහු තමන්ගෙන්ම අසා ගත්තේය.
මහාදිකාරම නැවතී සිටිනු දුටු මූලාචාරී ඉක්මන් පියවරෙන් ඔහුට සමීප වූයේය. රජු හැරුණු විට රාජධානියේ සියළු කටයුතු කෙරෙන්නේ මහාදිකාරමගේ සිතැඟි අනුවය. කන්නසාමි කුමරුන් රජකමට පත් කළෙත් මහාදිකාරමගේ ඕනෑකමටය. එවක් පටන් මෑතක් වනතුරුම රාජ්‍යය පාලනය කළේ ද මහාදිකාරම විසින් බව මූලාචාරී දැන සිටියේය. එබැවින් ඔහු කෙරෙහි මූලාචාරිගේ හිතේ වූයේ බියමුසු ගෞරවයකි.
“තොප කුමක් ද මෙතැන කරන්නේ..?”
මූලාචාරි ඔහුට සමීප වන විටම අදිකාරම උස් හඬින් විමසුවේය.
හිස් වැස්ම ගලවා එකත්පස වූ මූලාචාරී හිස පහත් කර සිනාසුණේය.
“අවසර මහාදිකාරම්තුමනි.. රජතුමා නියෝජග කළා ටිගොල්වෙල වැවක් බැඳවීමට අවශ්‍ය මිනුම් කටයුතු කරන්නට…”
**********************************
“මට පාළුවක් දැනෙනවා.. මට හිතෙනවා මදුරාසියේ මුහුද අද්දර පිහිටි නිවෙසේ ජීවිතය මීට වඩා සුන්දරයි කියා.. මට ආපසු වෙරළකට ගොස් මුහුදු රැල්ලේ ගිලෙන්නට සිතෙනවා..”
ඇය කීවේ හූල්ලමිනි.
“රෙංගම්මා..”
රජු තරවටු ස්වරයේන ඇය ඇමතුවේ තවත් මඳක් ඇයට සමීප වෙමිනි. රජුගේ මුවින් නිකුත් වූයේ ඔහු ගිල දැමූ මත්වතුරේ කුයිලය විය යුතු යැයි රෙංගම්මාට සිතිණි.
ඇය වහා සිය මුහුණ ඉවතට හැරෙව්වාය.
“මතක තබා ගන්න.. ඔබ තවදුරටත් මදුරාසි කෙල්ල නොවේ.. ඔබ අග මෙහෙසියක්.. තනතුරට සරිලන ආකාරයට හැසිරෙන්නට සිහි තබා ගන්න.,”
රජු කීවේ කෝපයෙනි.
රෙංගම්මා නිහඬ වූයේ රජුගේ කෝපය ඇවිස්සීම නුසුදුසු බැව් වැටහුණු නිසාය. රජු දැන් පෙර දවස්වල මෙන් නොව වහා කෝප වන බව ඇය පමණක් නොව සියල්ලන්ම දැන සිටි කරුණකි.
“මට කමා කරන්න රජතුමනි.. මා ඔබ කෝප ගැන්වීමට අදහස් කළේ නැහැ…”
ඇය කීවත් රජු ඒ වනවිටත් ආපසු මැදුර කරා යන්නට තීරණය කර තිබිණි.
“මැදුරට..”
ඔහු අණ කළේය.
රෙංගම්මා සිය දෝලාවට නැග්ගේ දෑසේ කඳුළු පුරවාගෙනය.
“දැන් ගිහින් බොන්න ගනියි.. බීල බීලා දැරියන් ගෙන්න ගනියි..”
රෙංගම්මා කියා ගත්තේ ශෝකයෙන් පමණක් නොවේ. දරාගත නොහැකි කෝපයෙන් ද යුතුවය.
රජුගේ දෝලාව රජ මැදුරටත් අග මෙහෙසිය රැගත් දෝලාව මැද වාසලටත් ගිය පසුව රජු කළේ මත් වතුරින් සන්තර්පණය වීමට පටන් ගැනීමය.
***********************************
දොර අසළ මුරකාවලේ සිටි මලබාර් හේවායාගේ ගෙල අසිපතෙන් වෙන් කළ ඔහු අසුරු සැණින් සිරියහන් ගබඩාවේ දොරට පා පහරක් එල්ල කළේය.
දොර විවර විය. ඇතුළට කඩා වැදුණු ඔහු අත වූ අසිපත ඔසොවා යහනේ සැතපී හුන් රජුගේ ගෙල මතට පහරක් එල්ල කළේය.
චිරිස් හඬක් නැඟිණි.
අසිපත එසවූ ඔහු තවත් පහරක් එල්ල කළේය.
එවර ද චිරිස් හඬ නැඟිණි.
රජු නැසීමේ සතුටින් උදම් වූ ජා හේවායා අසිපත කොපුවේ ලාගෙන සිරියහන් ගබඩාවෙන් පලා යන්නට සැරසුණා පමණි.
කිහිප දෙනෙකුගේ ග්‍රහණයට මැදි වූ ඔහු බිම ඇද වැටිණි.
සැඟවී සිටි අසාන් ජා මුහන්දිරම සිරියහන් ගබඩාවට රිංගා ගත් හේවායා ආපසු එනතුරු විමසිලිමත් වූයේය. එහෙත් ඔහු නැත.
මොහොතකට පසු සිරියහන් ගබඩාවෙන් මතුවූයේ මලබාර් හේවායෙකි. වටපිටාවේ පන්දම් එළි එහා මෙහා යන්නට පටන් ගත්තේය.
“ජා හේවායන් අල්ලනු..”
******************************************
වැව මත රතු පැහැති ලොකු මලක් පාවෙමින් තිබෙනු ඇගේ නෙත ගැටුණේ එමොහොතේය.
“ලස්සන මලක්..”
අග මෙහෙසිය වහා වැවට පහත් වී අර රතු මල අහුලා ගන්නට හැදුවාය. එමොහොතේ ඇගේ ගෙල බැඳි සිප්පි මාලය ගැලවී වැවට වැටුණේ නොසිතූ ලෙසය.
“අහෝ.. මගේ සිප්පි මාලය..”
අග මෙහෙසිය ලය මත අත තබාගෙන කීවේ කම්පාවෙනි. වැටුණු සැණින් දියේ ගිලී ගිය සිප්පි මාලය යුන අග මෙහෙසිය ආදරය කළ සුන්දර මතක සටහනකි.
“මගේ පුංචි කාලෙ මතක සටහන..”
අග මෙහෙසිය වැව දෙස බලාගෙනම කීවේ ශෝකයෙනි.
“දැන් ඔබට ඊට වඩා වටිනා මුහුදක්ම තියෙනවනේ.. ඉතිං මොකටද සිප්පි මාලය..? මම ඔබට තවත් රන් මාලයක් හදවලා දෙන්නම්..”
රජු කීවේ අග මෙහෙසියගේ හිත හදන්නටය.
ඇය හිස දෙපසට සැලුවේ රන් මාලයක් එපා කියමිනි.
“මම ගෙදරින් ආ දා වෙරළෙන් රැගෙන ආ සිප්පි කටු දෙක.. මම ඊට බොහෝ ආදරේ කළා රජතුමනි..”
“උඩ වාසය පොකුණට රන් සෙම්බුව වගේම මේ වැවට සිප්පි මාලයත් නිදහනක් වේවි දේවිය… දැන් ඒ ගැන තැවෙන්න එපා.. සිප්පි මාලයටත් වඩා මේ ‘කිරි මුහුද’ ට දැන් ඔබට ආදරය කළ හැකියි දේවිය..’
රජතුමා කීවත් ඇය කිසිවක් නොකියා වැව දෙසම බලා සිටියාය.
Reviews
There are no reviews yet.