Sale!

Neth path than නෙත් පත් තැන්

රු960

Author – Chandi kodikara

Publisher – Rathsara poth

Year – 2022

Out of stock

Add to Wishlist
Add to Wishlist
SKU: NCR 0001 Categories: , Tag:

“මගෙ නම නයනකාන්ති.. මට නයා කියන්ට එපා..”
ඇය තමා කතා කරන කිහිප දෙනාටම අවධාරණය කළාය. ඇයට බොහෝ කේන්ති එන බැව් දන්නා නිසාත්, ඇය ගමේ ප්‍රභූ පවුලකට අයිති අයෙකු ලෙසින් පිළි ගැනුණ නිසාත් ඔවුහු ඇය නයනකාන්ති හෝ ජම්බු ලෙසින් ඇමතූහ. ජම්බු කියනවාට ඇය කිසිදු අකැමැත්තක් දැක්වූයේ නැත.
ඇයට සරදම් කර ඇය කෝපයෙන් රතු වෙන ආකාරය බලන්නට ඉහළ පන්තිවල පිරිමි ළමෝ පමණක් නොව ගැහැනු ළමෝ ද ප්‍රිය කළහ.
“ඒයි නයා.. නයා..”
දිනක් විවේක කාලයේ ඇය යෙහෙළියන් සමඟ පිට්ටනියට යමින් සිටියදී පහේ පන්තියේ පිරිමි ළමෝ කිහිප දෙනෙක් කෑ ගැසූහ. නයනකන්ති ඔවුන් දෙස රවා බැලූ අතර යෙහෙළියෝ තැති ගත්හ. එහෙත් දෙකේ පන්තියේ සිටි ඔවුන්ට පහේ පන්තියේ ළමුන් සමග ගැටෙන්නට ශක්තියක් තිබුණේ නැත.
“ඒයි නයා.. තමුසෙ නාග ලෝකෙන් ආව කුමාරිකාවක්ලු නේද..? ඔය ලෝකෙ මොන පාට ද කියලා අපිටත් කියනවකො..”

*****************

“මම අම්මෙක්, තාත්තෙක්, පවුලක් නැතුව හැදිච්ච එකෙක්.. මෙන්ඩිස් මහත්තයලා මට වෙනස්කමක් කෙරුවෙ නෑ තමයි.. ඒත් ලේ නෑ කමක බැඳීමක් නැති අඩුව හැමදාම මට දැනුණා.. මගෙ දරුවො එහෙම ඉන්ට ඕනැන්නෙ නෑ.. කැලේටකොළේට හැදිලා හරි උන් ඉන්ට ඕනැ අපේ ඇස් මායිමේ..”
ඔහු කීවේ පත්මාට හෝ ඉන්දිකාටය. වසර දෙකතුනක් ඇසුරු කළ පෙම්වතා ද්‍රෝහි වීම නිසා පිරිමි තිත්ත වූ ඉන්දිකා කවදාවත් දීගයක නොයන ස්ථාවරයක සිටියාය. එම නිසාම ඇයටත් දරුවන් වූයේ අක්කාගේ දරු තිදෙනාමය. ඔවුන් ඇස් මානයෙන් ඈත් වෙනවාට ඇය කැමති වූයේත් නැත.
දරුවන් උස් මහත් වෙද්දී ගල්ලෙනේ ඉඩ පහසුකම් මදි වන බැව් චමින්ද ද කෙමෙන් තේරුම් ගත්තේය. එහි අලුත් ඉදි කිරීමකට ඉඩකඩක් නොවිණි. පුන් සඳක් මෙන් රුවින් වැඩෙන දියණිය ගල්ලෙනක ජීවත් වෙනවා දකින්නට ද ඔහු ප්‍රිය නොකළේය.
“නාග ලෝකෙන් ආවත්, දිවිය ලෝකෙන් ආවත් ඒකිගෙ පෙනුම කුමාරියකුගෙ වාගෙ තමයි.. කුමාරිකාවො හැදෙන්ට ඕනැ මාලිගාවල..”
කවුදෝ තමාගේ කනට කොඳුරන්නාක් මෙන් ඔහුට දැනිණි.

*********************************

“ජානු මාමයි පුංචිමයි දෙන්නම සැකයි..”
අහස් විසින් කියන ලද එවදන් ඔහු ගේ සිත තුළ දෝංකාර දුන්නේය. ඔහු ආවාට ගියාට කාටවත් චෝදනා නඟන්නේ නැත. රහස් පරීක්ෂක කතා, වීර වික්‍රමාන්විත ක්‍රියාවන් සහිත කතා කියවන්නට පුරුදු වී සිටි ඔහුට ඕනෑම දෙයක් දෙස විචාර බුද්ධියෙන් බලන්නට හැකි වූයේය.
“ඔයා.. ඔයා කියන්නෙ ජානු මාමා ජම්බුව පැහැරගෙන යන්ට ඇති කියල ද..?”
චමින්ද ආයාසයෙන් අසා ගත්තේය. ඔහු සිටියේ සන්නියක් වැළඳුණ කලෙක මෙන් වෙව්ලමිනි.
“ඔව් අප්පච්චි.. මල්ලියි මායි දෙන්නත් ඒක කතා වුණා.. ඒත් අම්මටයි, අත්තම්මටයි දුක හිතෙයි කියලා අපි කිව්වෙ නෑ..”
අහස්, ගගන දෙස ද බලමින් කීවේය.
“එදා අත්තම්මයි අත්තයි නුවර ගිය දවසෙ මං එහෙ ගියානෙ පුංචිමගෙ තනියට.. එතකොට ජානු මාමා එහෙ හිටියා.. පුංචිමා මට කිව්වා මාමා එහෙ හිටිය එක කාටවත් කියන්ට එපා කියලා..”
“ඉරිදා උදේ ගල මුදුන හරියෙ සරුංගල් අරිනකොට මං දැක්කා පුංචිමා මාවුස්සාව වත්ත පැත්තට යනවා.. මං හිතුවේ දර හොයන්ට යනවා වෙන්ටැති කියලා..”
පුතුන් දෙදෙනා මාරුවෙන් මාරුවට කී තොරතුරු අසා සිටි චමින්දට සිය ඉහමොළ දැවෙන්නාක් මෙන් දැනෙන්නට වූයේය. මේ ලාබාල දරුවන් දෙදෙනාගේ අවධානයට පාත්‍ර වූ දේවල් තමාට නොපෙනීම ගැන ඔහු කල්පනා කළේ තමාටම දොස් පවරා ගනිමිනි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shopping Cart