“වරයක්.. ඔබ වරයන් ගැන විශ්වාස කරනවද කුමරුනි..”
“එහෙමයි මුත්තණුවනි.. මේ හිරු බැස ගොස් හෙට උදෑසන යළි පායන්නාක් සේම විශ්වාසයි.. හිරුගේ ශක්තිය නොමැතිව ගහකොළ සතා සීපාව ඇතුලු අප කිසිවෙක් පවතින්නේ නෑ.. එලෙසම ඔබතුමන්ගේ ශක්තිය නොමැති වූවේ නම් මේ සොබාදහමෙන් ලැබෙන දායාදයන් ගැන අප දැන ගන්නේ නෑ.. ඉතින් ඔබතුමාට මට හානියක් සිදු නොවන වරයක් ලබා දිය හැකි යැයි මා විශ්වාස කරනවා..”
කුමරු දීර්ඝ විස්තරයක් කළේය.
“හොඳයි කුමරුවනි, මා ඔබට එම වරය ලබා දෙන්නම්..”
සෘෂිවරයාණන් දෑස් පියා ගත්තේය. මොහොකට පසුව කුමරු වෙතට අතක් දිගු කොට යමක් මිමිණූ එතුමා සෙමින් දෑස් විවර කළේය.
“ඔබට අවශ්‍ය වූ සුරයන්ගෙන් අසුරයන්ගෙන් හානියක් නොවන වරය ඔබට ලැබුනා. එහෙත් මෙලොව වානරයන්, නාගයන් වැනි තවත් අය සිටින බව සිහි තබා ගන්න කුමරුනි..”
************************************************
“කෙසේද පෙරදා රාත්‍රිය.. ඔබට සුව නින්දක් ලැබුණාද..?”
“ඔව් මන්දෝදරි.. මගේ සයනය බොහොම සැප පහසුයි.. ඒ වගේම තබා තිබූ හිස රඳවනය නිසා මට වඩාත් සැප පහසු නින්දක් ලැබුණා..”
රාවණ පැවසුවේ මන්දෝරි දෙස හොරැහින් බලමිනි. ඇය ද, කුමරු දෙස හොරැහින් බලා ඉවත බලා ගත්තාය.
“මා මෙහි පැමිණ මඳ වේලාවක්.. කුමරු සූර්ය නමස්කාරය කරමින් සිටි නිසා මා එයට බාධා කළේ නෑ.. මා ඔබට නැවුම් එළකිරි පානයක් ගෙනාවා..”
ඇය කීවේ. සේවිකාව අත තිබූ බඳුන වෙත අත දිගු කරමිනි.
“එළකිරි බොහොම හොඳ පානයක්.. පස්ගෝ රසය තරම් හොඳ ඖෂධයක් මෙලොව ඇත්තේ නෑ..”
රාවණ කීවේය.
“එහෙත් මගේ යෝග අභ්‍යාස අවසන් කරන තුරු කිසිදු පානයක් ගත නොහැකියි..”
************************************************
“සැබැවින්ම ඔබ මා එනතුරු බලා සිටියාද..?”
කුමරු රහසින් ඇසුවේය.
ඇය ලැජ්ජාශිලි මඳහසක් පෑවාය.
“ඔබෙන් හසුනක් හෝ පැමිණෙතැයි මා බලා සිටියේ.. ඔබේ හඬක්, ඔබේ තොරතුරක් නොමැතිව ගෙවී ගියේ බොහොම අසීරු කාලයක්..”
ඇය කුමරුගේ සිරුරට බරවෙමින් මිමිණුවාය. මුහුදු සුළඟට දඟ කරන ඇගේ කෙස් රොද කුමරුගේ මුහුණේ ස්පර්ශ විය. සූර්යයා ක්ෂිතිජය පසු කර යන්නට ඉතා ආසන්න වූ නිසා වෙරළට අඳුර වැටෙමින් තිබිණි.
මන්දෝදරීගේ සුවඳත්, ස්පර්ශයත් කුමරුගේ සිත මන්මත් කළේය.
“මගේ ආදරී.. ඔබ නොමැතිව ගෙවුණු කාලයේ මටත් විශාල අඩුවක් දැනුණා..”
කුමරු ඇගේ සවනට මිමිණුවේය.
කුමරු බොහෝ උස මහත අයෙකු වූ නිසා ඇය උස් වූයේ කුමරුගේ පපු පෙදෙසට පමණකි. ඇය සිය හිස කුමරුගේ පපුවෙහි රඳවා ගත්තාය. කුමරු ඇගේ හිස සෙමින් පිරිමදිමින් ඇගේ වරලසෙන් හමන සුවඳ විඳගන්නට මෙන් දිගු හුස්මක් ගත්තේය.
************************************************
‘කිමද දේවිය ඔබ මෙතරම් නොසන්සුන් වී සිටින්නේ..?”
ඇගේ අතකින් අල්ලා ගත් ඔහු විමසුවේ කුතුහලයෙනි. වානරයන් තනන පාලම නිසා ඇය මෙතරම් නොසන්සුන් නොවන බව ඔහු දැන සිටියේය. ඇය දිගු සුසුමක් හෙලා ඔහුගේ මුහුණ දෙස බැලුවාය. ඇයට සීතා ගැන විමසන්නට වුවමනා විය.
“ස්වාමිනී….”
ඇය අසන්නට ගත් දෙය නොඅසා නිහඬ වූවාය.
“පවසන්න දේවිය..”
ඇගේ දෙඋරහිස් මත අත තබමින් ඔහු කීවේ කාරුණික හඬිනි.
“ඔබ කිමද මේ තත්ත්වය සුළුකොට තකන්නේ..?”
“එවැන්නක් නොවේ දේවිය.. මේ යුද්ධයන්ට මගේ කිසිම කැමැත්තක් නෑ.. යකුන් වුවත් ඉන්දූන් වුවත් තුවාල ලබනවා දකින්න මට අපහසුයි.. මා කැමැති තුවාල සුව කරන්නට පමණයි.. ඔබ දන්නවා දේවිය, මා ලෝකයක් පාලනය කළත් එකදු භූමියක්වත් යුද්ධයෙන් ජයගත් ඒවා නොවේ… මාගේ බුද්ධියත්, පාලන ශක්තියත් ගැන විශ්වාසයෙන් මිනිසුන් විසින්ම බාර දුන් ඒවා..”
“මා ඔය සියල්ල දන්නවා.. එහෙත් ස්වාමිනී මේ සීතාගේ ගැටළුව එලෙස විසදෙන්නේ නෑ.. යුද්ධයට අකැමැති නම් ඔබ කළ යුත්තේ ඔවුන් පැමිණෙන්නට පෙර සීතා ඔවුන්ට බාර දීමයි..”
ඇය පවසද්දී, රාවණ ඇගේ දෙඋරහිස් අතැර පසෙකට හැරුණේය. කවුලුව අසළට ගිය රාවණ, ඈත පෙනෙන කඳු හිස් දෙස මොහොතක් බලා සිටියේය. ඔහුට සීතා ඒ අතරේ මැවී පෙනෙන්නට විය.
“එසේ කිරීමෙන් මගේ බලාපොරොත්තුව සඵල වෙන්නේ නෑ දේවිය.. මා මෙතෙක් කාලයක් ඇය සිර කර තබා ගැනීමත් අපරාධයක්..”
යළිත් ඇය දෙසට හැරුණු රාවණ පැවසුවේය. මන්දෝදරී හිස දෙපසට සැලුවාය.
“මට නම් සිතෙන්නේ, ඔබට ඇය නොදැක ඉන්නට බැරි බවයි..”
කෝපවත් හඬින් කියමින් ඇය ඉවතට හැරුණාය. රාවණ ඇය දෙසම බලා සිට සුසුමක් හෙලුවේය.
Reviews
There are no reviews yet.