“දුව, එළඟිතෙලුයි මීපැණි, සර්ප විෂට දෙන කැඳ එකයි ගේන්න…”
වෛද්‍යවරිය ගෙතුළට කෑ ගැසුවාය. මොහොතකින් ගෙතුළ සිට ආවේ සුන්දර යුවතියකි. ඇය නෙතු ගැටෙද්දී රණවීරට අමුත්තක් දැනිණි. සිත ගත දෙකම සංසුන් කරවන අන්දමේ අපූරු සුවඳක් දැනුණත් සුනිල්ට දෙනෙත් විවර කර ගන්නට තරම් සවියක් නොවිණි.
පැහැපත් සමකින් යුතු වූ ඇගේ දෙනෙත් දුඹුරු පැහැති විය. සෘජු හිසකෙස් නිතඹ දක්වාම දිගු විය. ඇය ඇඳ සිටි තට්ටු කොට ගවුමෙන් ඇගේ පැහැපත් දෙපා නිරාවරණය වී තිබිණි. වෛද්‍යවරිය සේම ඇය ද කරුණාබර පෙනුමින් යුතු විය.
රණවීරගේ නෙත් ඇය පසුපසින් ඇදී ගියේ ඔහු නොදැනුවත්වමය. ඇය, වෛද්‍යවරිය අතට කුඩා කෝප්පයක් ලබා දී අනෙක් බඳුන මේසය මතින් තැබුවාය.
“මෙයාව පොඩ්ඩක් උස්සලා අල්ලන්න..”
වෛද්‍යවරිය කියද්දී රණවීර ඉක්මණින් දෙනෙත් යුවතියගෙන් මුදා ගත්තේය. ඔහු, සුනිල්ගේ සිරුර මඳක් ඉහළට ඔසවා වෛද්‍යවරිය අත තිබූ පානය ඔහුට පෙවීමට සහය දුන්නේය. එය පානය කරමින්ම ඔහු සෙමෙන් දෙනෙත් විවර කළේ දැනෙන අපූරු සුවඳට ඉව අල්ලමිනි. ඔහුගේ දෙනෙතට අසුවූයේ ඔහුට පිටුපා සිටින යුවතියකි. ඇය සෙමෙන් ඔවුන් වෙත හැරෙද්දී සුනිල්ගේ හද ගැස්ම මොහොතකට නැවතිණි. ඔහු යළිත් දෙනෙත් වසා විවර කරද්දී ඇගේ රුව කාමරයේ දකින්නට නොවිණි.
**********************************************
වෙද නිවස ලෙස සටහන් වූ තේ කොළ සහිත පෙට්ටිය සුනිල්ට හමු වූයේ ඒ මොහොතේමය. එහෙත් යසවතී පිටතට ගියහොත් සඳා සමඟ නිදහසේ කතා කළ හැකිවන නිසා ඔහු දිගටම සෙවීමේ නිරත විය.
“පුංචි නෝනාට තනියම ඉන්න පුළුවන්ද මම ඉක්මණට ගොහින් එනකම්…?”
සඳා හිස සැලුවාය. යසවතී කාර්යාලයෙන් පිටතට යද්දීම සුනිල් හිස ඔසවා ඇය දෙස බැලීය. සඳාගේ බැල්ම ද යොමුව තිබුණේ ඔහු වෙතටමය. ඔහු බලනවා දකිද්දී ඇය වහා බිම බලා ගත්තාය. සුනිල් සිය පුටුවට බර දුන්නේ ඇය දෙස බලාගත්වනමය.
“ඇයි ඔහොම බලන්නේ..?”
ඔහුගේ බැල්ම දුටු ඇය විමසුවේ සෙමිනි.
“කොහෙද මෙච්චර දවසක් අතුරුදහන් වෙලා හිටියේ…”
ඔහු අසද්දී ඇය තිගැස්සිණි.
“අතුරුදහන් වෙලා හිටියේ නෑ මම..”
“එහෙනම් පේන්නවත් හිටියේ නැත්තේ..?”
“ගෙදරනේ ඉන්නේ..”
“මම ආවනේ ගෙවල් ළඟට.”
සුනිල් කියද්දී ඇය ඔහු දෙස බැලුවේ දෙනෙත් විසල් කර ගනිමිනි.
“ගෙදරටම ආවේ නෑ… බෙහෙත් ගන්න තරම් ලෙඩක් තිබ්බේ නැති හින්දා..”
ඔහු කියද්දී ඇය හඬ නඟා සිනාසුණාය. ඇගේ සිනාව මිණි කිංකිණියක හඬ තරම් මිහිරියැයි ඔහුට සිතිණි. ඔහු ඒ සිනාව දෙසම බලා සිටියේය. ඇගේ මුවින් සිනාව මැකී ගියේ සැණිනි.
***********************************************************
සුපුරුදු සේ නගරයට යන බව පවසා ගියත් සුනිල්ගේ හැසිරීම්වල වෙනසක් දැනුණු නිසා රණවීර ආපසු පැමිණියේ සුනිල් නිවසින් පිටව ගොස් මඳ වේලාවකිනි. වෙද නිවස පැත්තටත් ගොස් ඔවුන් එහි නොවූ නිසා ගල් කන්ද පැත්තට ආවේ හිතේ සැකයටය.
එකිනෙකා සිප වැළඳ ගනිමින් සිටින යුවල දකිද්දී රණවීරගේ සිතට ආවේ ඊර්ෂ්‍යාව හා මුසු වූ කෝපයකි. සඳා තමා ප්‍රතික්ෂේප කළේ සුනිල් නිසාවෙන් වීමත්, සුනිල් මෙතෙක් දිනක් ඔහුට කිසිත් පවසා නොතිබීමත් සියල්ල ඔහුට පීඩා කරන්නට විය.
“එහෙනම් මගේ කෙල්ලව උඹ අල්ලා ගත්තා..”
“කෙල්ල..?”
සුනිල් , සඳා දෙස ද බලමින් ඇසුවේ දැඩි පුදුමයෙනි. ඇයට යෝජනාවක් කළ බවක් මිස ඔවුන් දෙදෙනා අතර සබඳතාවයක් තිබූ බව සඳා ඔහුට මෙතෙක් පවසා නොතිබිණි. ඔහු නොදන්නා යමක් තිබුණේ දැයි සැකයෙන් සඳා දෙස බලද්දී කලබලයට පත් වුණු ඇය හිස සැලුවේ එසේ නොවන වග පවසමිනි.
“ඔව් යකෝ ඔව්.. මේකිට මාත් ආදරේ කළා… උඹ මට මෙච්චර දවසකට සඳා එක්ක මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වෙ නෑ.. කෙල්ලෙක් බලන්න යනවා කිව්වට සඳා කියලා මම හිතුවේ නෑ යකෝ… මගේ වත්තේ ඉඳගෙන, මගෙන්ම කකාබිබී උඹ මාවම ඇන්දුවා…”
**************************************************
“අර..”
ඇගේ බඳ වටා අත යවා ඇය ළඟට ගත් ඔහු අත දිගු කර පෙන්වූයේ ගස් අතරින් පෙනෙන බඹරකිරි ඇල්ලයි. එය සුන්දර දසුනක් විය. ඇය ඇසිපිය නොහෙලා එදෙස බලා සිටියදී අක්ෂික බලා සිටියේ ඇගේ මුහුණ දෙසයි.
“ඔයයි මායි මීට කලින් මුණ ගැහුණේ කොහෙදී ද..?”
“දන්නේ නෑ..”
ඇය මිමිණුවේ ඔහු දෙස බලමිනි. තලෙලු සම, යාන්තමට වැවුණු රැවුල. ඔහු කඩවසම් අයෙක් යැයි ඇගේ සිත මිමිණීය. ඇය සිනහවක් පා ඔහුගේ බාහුවක වෙලුණාය.
“නේත්‍ර කියනවා අපි දෙන්නා ගිය ආත්මේ හම්බ වෙන්න ඇතිලු..” මඳ වේලාවක් නිහඬව සිට ඔහු කියද්දී ඇය දෙනෙත් විසල් කළේ මවිතයෙනි.
“ගිය ආත්මේ..?”
“හ්ම්ම්.. ඔයා විශ්වාස කරනව ද..?”
“මෙච්චර කල් නම් විශ්වාසයක් තිබ්බේ නෑ.. ඒත් ඔයාව මට දැනෙන විදියත් එක්ක එහෙම හිතෙනවා..”
දිගු හුස්මක් ගනිමින් ඇය මිමිණුවේ ඔහුගේ මුහුණ දෙසම බලාගෙනය.
“එතකොට මට දැනෙනවා වගේ ඔයාටත් දැනෙනවද නිවර්තනා..?”
Reviews
There are no reviews yet.