“අද බරානෝ හනා ආව ද අවන්තියො..?”
මම ඉස්කෝලේ ඇතුළට එන ටීචර්ස්ලාගේ මූණු දිහා හොඳට බලන ගමන් අවන්තිගෙන් ඇහුවා. බරානෝ හනා කියන්නේ අපේ ජපන් ටීචර්ට. එයාගේ ඇත්ත නම නම් අංජලී. අපි ආදරේට ‘බරානෝ හනා’ කියන්නේ. මොකද ජපන්වලින් බරානෝ හනා කියන්නෙ රෝස මලට.
යමුනා මිස් ආවේ නැති නිසා උදේ පීරියඩ් එකම ෆ්‍රී එකක්. අපේ නිදහසට බාධා කරන්න හොඳ නැති නිසා වෙන්නැති වෙන ටීචර් කෙනෙක්වත් පන්තියට ආවේත් නෑ.
මම අහපු ප්‍රශ්නෙට උත්තර නොදී අවන්ති කල්පනා කරනවා.
“උඹට මොකද උදේම බරානො හනා මතක් වෙලා තියෙන්නේ..?”
විහාරා ඇහුවේ නවකතා පොතකට ඔලුව ඔබා ගන්න ගමන්. හංසි සිංහල රචනාවක් ලිය ලියා හිටියා. මම ජපන් පොත ළඟ තියාගෙන ඕපාදූප හොය හොයා හිටියා.
“කන්ජි ටික ලිව්වේ නෑ බං..”
“මේකි ගෙදරට වෙලා මොනවා කරනවද මන්දා හෝම් වර්ක් කරන්නේ නැතුව..?”
හංසි බනින්න පටන් ගත්තා. මම අම්මා තාත්තාගෙන්වත්, හංසිගෙන් තරම් බැනුම් අහලා නෑ.
“හෝම් වර්ක් තමයි බං කරන්නේ.. හෝම් වර්ක් වැඩි නිසා ඉස්කෝලේ වැඩ කරන්න වෙලාවක් නෑ..”
**************************************************************
මම ටික වේලාවකින් තද කරගෙන හිටිය ඇස් දෙක ඇරියේ මාව බිමට වැටුණේ නැති නිසයි. මගේ ඇඟේ කොහෙවත් රිදුමක් තිබුණේ නැති නිසයි. මගේ ඇස් ඉස්සරහ තිබුණේ රනුකගේ මූණ. මම හිටියේ එයාගේ අත් දෙක උඩ. මම කලබල වෙලා බිමට බහින්න හැදුවත් රනුක මට බහින්න දුන්නේ නෑ.
“බෙල්ල කඩාගන්න ද යන්නේ ආ..?”
රනුක මගේ මූණට එබිලා දත් මිටි කාගෙන ඇහුවා. මම එයාගේ මූණ දිහාම බලාගෙන හිටියා.
“මන්දි.. උඹ ඇල්පෙනිති ගහන්නේ නැද්ද..?”
මගේ දැහැන බිඳුනේ අමා කෑ ගහද්දී. රනුක මාව හිමීට බිමින් තිබ්බා.
“මූණ රතු වෙලා.. ඉඹින්න හිතෙනවා..”
රනුක ආයෙමත් මට ළං වුණා. මම එහෙමම අඩියක් පස්සට ගියා. එයාගේ කට කොණට හිනාවක් ආවා.
“මන්දි.. කෝ බං..?”
“උත්තර දෙන්න.. යාළුවා බය වෙයි..”
රනුක ඉස්සරහ අඩියක් තියන ගමන් කිව්වා.
“මේ ගහනවා.. ඉඳපං ඉණිමඟ එහාට ගන්නවා..”
මම අමාරුවෙන් කෙල ගිලලා උත්තර දුන්නා.
“මම හිතුවා උඹව හොරු අරන් කියලා…”
“හොරු අරන් යන්න තමයි හදන්නේ නේද…?”
**************************************************************
“මොකද මේ කට්ටියගේ සද්දේ..?”
අපි කට්ටිය පොලු පාරක් වැදුණා වගේ සද්දේ එක පාරටම නවත්තලා ඉස්සරහට හැරුණා. යමුනා ටීචර් පන්තියට ඇවිත්. අපි දන්නෙත් නෑ. අපිට අනතුරු අඟවන්න කියලා කියපු උන්ගේ සද්දෙකුත් නෑ.
ජිමා හෙමින් සැරේ ඩෝලේ ඩෙස් එක යටින් තියලා නැඟිට්ටා. අපි නම් කොහොමත් හිටගෙනමයි හිටියේ.
“කොහෙ කියලා හිතාගෙන ද මහ හයියෙන් සිංදු කියන්නේ බෙර ගගහ.. ගෑණු ළමයි නේද..?”
ටීචර් බැනගෙන බැනගෙන යනවා.
“අවන්ති.. පන්ති නායිකාව නේද.? ඔයත් ඔතෙන්ට වෙලා සිංදු කිව්වම හරියනවද..?’
අවන්තියගේ කරුමෙට ඒකි කවදාවත් නැතුව අදම ආවා සිංදු කියන්න.
“සොරි මිස්..”
අවන්ති බිම බලාගෙන මුමුණනවා.
“සොරි මිස් තමයි..”
මිස්ට හොඳටම යකා නැඟලා.
“යමුනා මිස්ට යකා නැඟලා
හුළං යනවා හෝස් ගාලා..
සරිගම අවුල් වෙලා බං..”
***************************************************
ඒ වෙද්දීත් අපේ පන්තියේ බාගයක් විතරයි ටීචර්ස්ලා උඩට නැඟලා. එයාලා උඩ ඉඳන් අපිට අත වනනවා.
“නෝනා.. මට අත වනනවා.. අපි ඔක්කොම එයාට බෑ කියනවා..”
ජිමා ඒ දිහා බලාගෙන වේගෙන් කියාගෙන ගියා.
“බෑ කිව්වට හරියන්නේ නෑනේ.. යමං..”
නෙත් ජිමාගේ පිටට අත තියලා ඒකිව තල්ලු කළා.
“අනේ බං මේ පුළුවන් වැඩක් කරපං..”
දිල්ෂි, නෙත්ව පැත්තකට ඇද්දා.
“යං යං..” අමා ඉස්සර වුණා.
ඒකි ඉතින් දුවලම කකුල් හයි වෙච්ච එකීනේ. ඒ වගේද අපි. අනේ අසරණ කකුල්වලට දෙවි පිහිටයි.
අපිත් ඒකිගේ පිටිපස්සෙන් වැටුණා.
“ඉහළ නඟින මේ නඩේට බුද්ධං සරණේ සරණයි..”
ජිමා තුන්සරණේ කියන්න පටන් ගත්තා.
“පහළ බහින මේ නඩේට ධම්මං සරණේ සරණයි..”
නෙත් එකතු වුණා.
අපි ළඟින්ම පහළට බැස්ස කට්ටිය අපි දිහා හොඳට බැලුවා. මම ඉක්මණට ටයි එකයි බැජ් එකයි අතින් වහ ගත්තා. සිරිපාදේ යද්දී කියන තුන්සරණේ මේ පොඩි කන්ද නඟිද්දී කියන්න තරම් මුන්ට පිස්සු ද කියලා හිතුවොත් ඉස්කෝලේට හොඳ නෑනේ.
Reviews
There are no reviews yet.