නීතියෙන් වෙන් වූ මොහොතෙහි පටන් සිතින් ගතින්, සමාවෙන්න ඔහු හා සිතින් බැඳුණේ ඈ පමණි. ඔහු ඇය සමඟ බැඳුණේ ගතින් පමණි. එසේ බැඳුණු දෙදෙනෙකුට හදවතේ බැඳීම්, ශාරීරික බැඳීම් එසේ අවසන් කළ හැකි ද? නොහැකිය. එසේ වුවද මින් මතුවට ඇයට ඔහු ගැනවත්, ඔහුට ඇය ගැනවත් අයිතියක් නොමැත. ඉඳින් කුමට ද මේ හිස් වදන්..? ඈ මුවේ ඇඳුණේ සෝපාහාස සිනාවකි. එය ඔහුට ද නොමැති නම් ඇයටම ද කියා සිතා ගත නොහැකිය. නමුත් එයට පළිතුරක් ලබා දිය යුතුමය.
“මං මෙතනින් පස්සේ කරන කියන කිසිම දෙයකින් ඔයාට ප්‍රතිලාභයක් හම්බෙයි කියලා මම හිතන්නේ නෑ…” පෙරටත් වඩා ඒ උවන අඳුරු විය. එහෙත් වෙදන් පැවසිය යුතු නොවේද..? ඒ ඔහු රිදවීමේ අදහසකින් නොවේ. ඇය සිහිනෙකින්වත් ඔහු රිදවූ බිරිඳක් නොවුනාය. මේ ඉර හඳ තරමටම එය විශ්වාසය. නමුදු මින් මතුවට ඔහුට ඈ පිළිබඳව අංශුවක් තරමින්වත් අයිතියක් හිමි නොවේ.
“මට පේන්න බැරි ඔයාගේ ඔය උද්දච්ච වචන තමයි හියූ… දවසින් දවස මම ඔයාගෙන් ඈත් වෙන්න එක හේතුවක් උනේ ඔයාගේ ඔය වචන..”
අඳුරුව ගිය මුහුණෙහි ඇත්තේ කෝපයේ සේයාවන්ය. නමුදු ඇගේ මුවෙහි ඇඳී ගියේ පුළුල් සිනාවකි. ඔහු මේ මොහොතෙහි ද වරද තබනුයේ ඈ මතය. කම් නැත. ඔහුට, ඔහුගේ දෙමව්පියන්ට, ඔහු ඇසුරු කරන උසස් සමාජයට, මේ අධිකරණයට, මුළු ලෝකයටම ඈ වරදකාරියක වුවත් කම් නැත.
******************************
“ඇට්ටේරියා මල් හරිම සංවේදීයි සර්.. පුංචි හුළඟටත් පෙති හැලිලා යනවා..”
හියාශා ඔහුගේ ක්‍රියාව මතම නෙතු රඳවාගෙන පැවසුවේ දැඩි සේ රිදුම් දෙන හදවතිනි.
ඇගේ වදන් ඔහුගේ සිතට බරක් විය. ඒ වදන් ඇය පැවසුවේ සැහැල්ලුවෙන් නොවේ. මහා වේදනාවක් හදවතෙහි සිරකරගෙන ඇය පිට කළේ සුවිසල් අර්ථයක් දෙන වදන් වලැකි. එය ඔහුවන් බුද්ධිමතෙකෙුට එකවර තේරුම් ගත හැකිය.
“ඒක තමයි හියා… ශා.. මලට රිද්දන්නේ නැතුව දුර ඉඳන් බලන් ඉන්නේ..”
අයිති නොවන තම දයාබර ප්‍රේමියට අසීමාන්තිකව පෙම් කරන ඔහු සැබැවින්ම සිදු කරන්නේ ද එය පමණි.
රන්දුණු සේනාධීරගේ වදන් ඈ සිත සසල කළේය. මහා බරක් ඇගේ හදවත මත රැඳුණි. හියාශා වඩාත් විමසිල්ලෙන් ඒ මුහුණ මත නෙතු ගෙන ගිය ද ඒ සිහින් දෑස් ඈ මඟ හැරියේය.
*********************************
මන්ජිත් වික්‍රමආරච්චිගේ වදන් රන්දුණු සේනාධීරගේ හදවතට එක් කළේ මන්ජිත් පිළිබඳව අනුකම්පාවකි. එහෙත් දෛවය මෙය නම් එය කිසිවෙකුට වැළැක්විය නොහැකි බව යළි යළිත් ප්‍රත්‍යක්ෂ විය.
“තැන්ක් යූ මන්ජිත්..,”
“ඔයා කැමැති නම් විතරක් මට ටිකක් හියාශාට කතා කරන්න පුළුවන් ද..?”
එය ඉල්ලීමක් නොව අයාචනයක් වැනි යැයි රන්දුණු සේනාධීරට හැඟුණි. එය අයාචනය හමුවේ ඔහුට අකැමැති වේනනට හේතුවක් නොවුණි. මන්ද, හියාශා යනු තමාගේ බිරිඳය. තම දරුවාගේ මවය. අනෙක් අතට ඔහු සාම්ප්‍රදායික පිරිමියෙකු නොවීය.
“ශුවර්… තත්පරයක් ඉන්න..” රන්දුණු සේනාධීර හියාශා වෙතට ඔහුගේ දුරකථනය පෑවේය. ඇය සැනින් ඔහු වෙතට හෙළුවේ තරවටු බැල්මකි. එයින් ඇය සන්සුන් වූන්‍ාය.
“කතා කරලා බලන්නකෝ…” ඔහු එපමණක් පවසා දුරකථනය ඇගේ සුරතේ තබා ඒ නළලත මත හාදුවක් ද තබමින් නාන කාමරයට ඇතුළු වූවේය.
Reviews
There are no reviews yet.