යලි කැපුම් අංශයට ඇවිද ගියේ නොකැමැත්තෙනි. වචනයකින් වත් කිසිවෙකුටවත් වරදක් නොකළ මට එලෙසින් කටකතාවක් බිහිවීම අදහාගත් නොහැකි නමුදු මම ඉන් බලවත් ලැජ්ජාවකට පත් ව උන්නෙමි. සැවොම ඒ කාරණය දැන මට හිනාවෙනවා වාගේ මට පෙනුණි. මට වටපිට බලන්නටත් බය සිතුණි. දෙතුන් වරක් බිම බලා එහා මෙහා යන අතරතුරේ එකවරම සංජය මගේ පසුපසට දැනෙන්නට තට්ටුවක් දැම්මේය. මම තිගැස්සී නතරවද්දී ඔහු ඇසක් ඉඟිමරා ඉඳිරිය ඇදී ඒ එන ඊලග වතාවේදී මගේ තට්ටම ඇගිලිවලින් අල්ලා මිරිකා දැම්මේය. මම එකවරම පැත්තකට පැන්නෙමි. සිරුර පුරා වතුර බාල්දියක් විසිකළා වාගේ දාඩිය දැම්මේ ක්ෂණිකයෙනි. ස්භාවධර්මයේ සියළු කාර්යයන් මට එරෙහිව සිදුවනවා වාගේ දැණුණි. මම අසරණව වටපිට බැලුවෙමි.
ඒත් සමගම මා කාර්යාලයේ තරප්පුව බැස කැපුම් අංශයට එන කොරිඩෝවේ දුටුවේ ඔහු ය. ඒ එන අතරේ ඔහු මැණික් කටුව ලගට දිගට වන්නට දැමූ කමිස අත ගලවා වැලමිට දක්වා ඇද ආවේගයකින් වාගේ හිසකෙස් එක් අතකින් ඉහළට කරගත්තේය. කිසිසේත් ම බලාපොරොත්තු නොවූ රූපයක් හිටිහැටියේම දෑස් ඉදිරියේ දිස්වද්දී මම අදහාගත නොහැකිව බලා සිටියෙමි. සිටි තැනින් අඩියක් ඉදිරියට තැබීම තබා හුස්මවත් ඉහළ පහළ හෙළීමට අමතකව වාගේ මම වේගයෙන් ඉදිරියට එන රූපයේ අයිතිකාරයා දෙසම බලාගෙන සිටියෙමි. අසුරු සැනෙකින් ඔහු සංජයගේ ටීෂර්ටයේ කොලරයෙන් අල්ලා බිත්තියට විසිකර දැම්මේය. යලි ඉදිරියට පැන කම්මුලට වැරෙන් පහරක් ගැසුවේය. මා හුන් තැනින් ලගම තිබුණු බිත්තියේ හැපී ගුලිවී සිටියෙමි.
” මොකද්ද යකෝ තෝ ඒ කරේ?”
ස්වරයේ වූයේ දැඩි හා ඉහවහා ගිය කේන්තියකි. ඒ සැනින් සංජයගේ සුරත ඔහුගේ අතින් මිරිකී පිටුපසට ඇඹරී ගියේය. දවා අළුකරවන රාක්ෂ බැල්මක් සංජය වෙත වැටී තිබුණේය. දාහක් මුහුණු අතර වුවද මට හදුණාගත හැකි ඒ මුහුණ දෙස මම තුෂ්ණිම්භූතව බලා සිටියෙමි. ඔහු සංජයගේ උරහිසට ඉහළින් මාදෙස බැලුවේ ඒ අතරය.
හරියටම කීවානම් මගේ සිහිය හොරු ගෙනගොස් තිබුණේය. මගේ මතකයේ ස්ථරවම තැන්පත්ව තිබුණේ එක් දර්ශනයක් පමණි. ඒ එදා සඳ එළියේ මා දුටු පුද්ගලයා මගේ දෑස් ඉදිරියේ සිටගත්තා කියා පමණි. මා අතොරක් නැතුව දෑස් වෙහෙසමින් සෙවූ ඔහු ම මගේ දෑස් ඉස්සරහට ආවා කියා පමණි. සුරතින් ළය තෙරපාගෙන මම ගල්ගැසී බලා සිටියෙමි. මට වැටහුණා හරිනම් ඔහු ඒ පුංචි මිනිත්තු ගණනක් තුලදී මා විශ්වාස නොකළ කතා බොහොමයක් දෑසින් පවසමින් උන්නේය. එය හරියටම කියනවා නම් චිත්රපට දර්ශනයකට සමාන විය. සංජය බයෙන් බිරාන්තව ඔහු ඉදිරියේ දෙකට තුනට නැවී බයෙන් ඇදවැටෙද්දී ඔහු හරි අපූරුවට මා දෙස බලා දෑසින් මා සැනසුවේ මා ද පුදුම කරමිනි. කැපුම් අංශයේ පෙනෙන දුරකින් තිබුණු ගබඩා කාමරයේ කාර්යාලයේ සිට දිව ආ හසරැල් සර්ගේ මැදිහත් වීමෙන් සියල්ල සමතයකට පත්වූවා කියා මතක ය. ඒ සියල්ල වනතුරු කැපුම් අංශයම මීයට පිම්බාක් වාගේ නිහඩව තිබුණේය. නිශ්ශබ්දතාවය රජකළේය. සංජය සමග හසරැල් සර් සඳ එළියේ මට මුදල් නෝට්ටුවක් දිඟුකල පසුව අතුරුදහන් වූ පුද්ගලයා කැටුව කාර්යාලය දෙසට පියගැටපෙළ නගිමින් යන අතරේ ද හැරී මා දෙස වරක් බැලුවේ මගේ තොල කට වේලී තිබෙද්දීය.
Reviews
There are no reviews yet.