“මොකක්ද ඔයාගේ නම..?” සාලිය ඇසීය.
“නිම්සරා..” ඇය කිසිදු පැකිළීමකින් තොරව කීවාය.
“ෂහ්..” ඔහුට කියැවිණි. රූපයට ගැලපෙන නමක් ඇත්තේ ඉතා කලාතුරකින් කෙනෙකුටය.
“එන්න නිම්සරා ගෙට.. මට ඔයත් එක්ක ජොබ් එකක් ගැන කතා කර ගන්න තියෙනවා..”
සාලිය කීවේය. නිම්සරා අනුමැතිය පතන දෑසින් අම්මා දෙස බැලුවාය.
“ගියාට කමක් නෑ.. පුටුවල එහෙම ඉඳ ගන්නවා නෙමෙයි ඕං..” රූපා කසුකුසුවෙන් කීවාය.
නිම්සරාට එවර සිනා නැඟුණේ අම්මාගේ ඉල්ලීමටය. පුටු ඇත්තේ හිඳ ගැනීමට නොවේ නම් වෙන මොනවාටදැයි ඇය කල්පනා කළාය.
“එන්න..” කියමින් සාලිය ගෙට ගොඩ නැඟුණේය.
සංකාකූල බැල්මකින් යුතුව සිටි වනම සිටගෙන සිටි අම්මා දෙස නෙත් කොනින් බැලූ නිම්සරා ඔහු පසුපස ගියාය. මේ අලංකාර ගෘහයට ඇය පය තැබුවේ ප්‍රථම වතාවටය. ඇයට චකිතයක් නොදැනුණේ නොවේ. එහේත ඇය ඕනෑකමින් වටපිට බැලුවාය.
*********************
දිනෙක නාරද පැමිණෙන විට නිවසේ සිටියේ නිම්සරා පමණි. ඇය මිදුලේදීම ඔහු හා දෙඩුවේ ඉක්මණින් පිටත් කර යැවීමේ අදහස ඇතිවය.
“නිම්සරා මොකද ඔය තරමට උද්දච්ච වෙලා ඉන්නේ..?” ඔහු දෙබැම රැලි කොටගෙන ඇසී්‍ය. ඇයට නොරිස්සුමක් දැනිණි.
“අනේ නාරදයියා, ඒ ඔයාට පේන හැටි.. අපි මොනවට උද්දච්ච වෙන්ට ද.,?” ඇය ඒ නොරිස්සුම හැකිතාක් සඟවාගෙන කීවාය.
“අනික් උන්ට උද්දච්චකම් පේනනුවට නම් කමක් නෑ.. ඒත් කවදා හරි දවසක ඔයා අයිති වෙන්නේ මට.. ඒ හින්දා..”
“මොනව..? මොනවා නාරදයියේ..? කවුද ඔයාට එහෙම පොරොන්දුවක් දුන්නේ..?” ඔහුගේ කතාව මැදට පැන්න ඇය දැඩි හඬින් ඇසුවාය.
“කවුරුවත් පොරොන්දු වුණේ නම් නෑ.. ඒත් මං මටම පොරොන්දු වෙලා තියෙනවා කවදා හරි දවසක බඳින්නේ ඔ්‍යා කියලා..”
ඔහු ජයග්‍රාහී සිනාවක් පෑවේය.
*****************************
“මේ හැමෝම මගෙත් එක්කම වැඩ කරන අයනේ සර්.. එයාලා මැඩම් කියලා කතා කරනකොට මගේ හිතට මොකක්ද වගේ..”
නිම්සරා සාලියට පැවසුවේ ඔහුගේ කාර්යාල කාමරයේදීය. ඔහු සිය පුටුවෙන් නැඟිට විත් උරහිස් වටා අත යවා ඇය තුරුලට ගත්තේය. මේ වන විට ඔහුගේ දෑතේත්, දෙතොලේත් පහසට හුරු පුරුදු වී සිටියත් ඔහු ළං වන හැම විටෙකම ඇය තුළ ආශාවත් බලාපොරොත්තුවත් මුසු කැළඹීමක් හට ගත්තේය. ඇගේ දෑත් පවා සැලිණි. ඇගේ මේ කෝල බව සාලිය මොනතරම් ප්‍රිය කළේදැයි ඇය දැන සිටියේ නැත.
“ඔයා හිතලා බලන්නකෝ ටිකක්.. දැන් ඔයා මගේ ජීවිතේ කොටසක් වෙලා.. ඒ වුණාට ඔයා මට කතා කරන්නේ සර් කියලා.. එතකොට මට දැනෙන්නේ කොහොමද..?”
ඔහු විමසුවේ ඇගේ නිකටින් අල්ලා මුහුණ ඔසවා දෑසට එබී බලමිනි. ඒ පිරිමි දෑසේ දිදුලන හැඟුම්බර බව දරා ගත නොහැකිව නිම්සරා ඉවත බැලුවාය.
“කතා කරන්න බබා.. කියන්න ඇයි ඔයා මට නම කියලා කතා කරන්නේ නැත්තේ..? ම්..”
සාලිය විමසුවේ ඇගේ දෑස අල්ලා ගන්නට වෙර දරමිනි. එහෙත් ඇය සිටියේම ඉවත බලාගෙනය.
“සර් මගේ බොස්.. මම කොහොමද නම කියලා කතා කරන්නේ..?” ඇය මිමිණුවේ ඇසෙන නෑසෙන හඬිනි.
“මෙච්චර ළං වෙලා ඉඳිද්දී ඔ්‍යාට බැරි නම් මට නම කියලා කතා කරන්න, මෙතන වැඩ කරන අය කොහොමද ඔයාට එහෙම කතා කරන්නේ..? ඔ්‍යා මෙතන මැඩම් තමයි..” ඔහු තරයේ කීවේය.
Reviews
There are no reviews yet.