කවිඳු ගෙට ඇතුළු වූයේ බිමට නැඹුරු කරගත් හිසින් යුතුවය. චාමින්දි මසමින් සිටි ළදරු ඇඳුම පසෙක තබා ඔහු වෙත ආවාය. කුළුදුල් දරුවාට උපත ලබා දෙන්නට සූදානමින් සිටි ඇය පියවර තැබුවේ බොහෝ ප්‍රවේසමිනි. ඇගේ තැන්පත් වූත් පින් පාටට පුරවා දමා තිබුනා වූත් මුහුණ දෙස බැලූ කවිඳු ආයාසයෙන් සිනාවක් මුවට නංවා ගත්තේය.
“ඇයි කවිඳ මොකක්ද ප්‍රශ්නේ..?”
චාමින්දි විමසුවේ ඔහුගේ මුහුණේ වෙනස හැඳිනගත් බැවිනි. කවිඳු නළල පිරිමැද ගනිමින් අසුනකට බර දුන්නේය.
“ශ්‍රියාට කියන්න මට කූල් ඩ්‍රින්ක් එකක් ගෙනත් දෙන්න කියලා…”
ඔහු අණ කළේ චාමින්දි දෙස නොබලාමය.
“මේ අවේලාවේ කූල් ඩ්‍රින්ක් බොන්නේ මොකටද..? කෑම ලෑස්ති කිරලා තියෙන්නේ..”
“මං කියපු දේ කරන්න…” කවිඳු දැඩි හඬින් අණ කළේය.
සැමියා යමක් කී කල එයට එරෙහිව කතා කිරීමේ පුරුද්දක් චාමින්දිට තිබුණේ නැත. කුස්සියට ගිය ඇය මෙහෙකාරියන්ට කරදර නොකර සිසිල් බීම වීදුරුවක් පිළියෙල කරගෙන ආවාය.
***********************************
ශෂිකලා නිවසට පැමිණියේ තෘප්තිමත් සිතින් යුතුවය. ගිනි ගහන මද්දහනේ කලබලකාරී නගරය තුළ කරක් ගැසීම බොහෝ වෙහෙසකාරී අත්දැකීමක් බව සැබෑය. එහෙත් ජයග්‍රහණයෙන් උදම් වී සිටි නිසා ඇයට ඒ වෙහෙස නොදැනිණි. සමරු කලාපය සඳහා එකතු කර දෙන හැම දැන්වීමක් වෙනුවෙන්ම සියයට දහයක කොමිස් මුදලක් ඇයට ලබා දීමට නාට්‍ය සංවිධායකයෝ පොරොන්දු වී සිටියහ. ඇයට දැන්වීම් දහයක් පමණ එකතුකර ගැනීමට හැකි වී තිබිණි.
“තව ටිකක් ඇවිද්ද නම් තවත් කීපයක් හොයාගන්න තිබුනා…”
නිවසේ පසෙකින් සාදා තිබූ තාවකාලික මඩුවට බයිසිකලය හරවමින් ශෂිකලා කල්පනා කළාය. එහෙත් දවසම නිවසින් පිටත ගත කිරීමේ හැකියාවක් ඇයට නැත. දියණියත් පුතාත් බලා ගැනීමේ වගකීම පවරා ගියේ අරුණටය. තමන් ගැනම වැඩිපුර හිතන ඔහු වගකීමක් පැවරිය හැකි පුද්ගලයෙකු නොවේ.
“හරිහමන් මිනිහෙක් හිටියා නම් මමත් අද ජයට ජීවත් වෙන ගෑනියෙක් තමයි… කොහෙද ඉතින් මගේ කරුමෙට මට හම්බ වුණේ මාවම කන්න ඉපදුණ මිනිහෙක්නේ..”
අරුණ සිතට පිවිසීමත් සමගම ශෂිකලාගේ සිතේ මෙතෙක් පැවති තෘප්තිමත් හැඟීම අතුරුදහන් වී ගොස් නොරිස්සුමක් ලැගුම් ගත්තේය.
***************************************
ඔහු මෝටර් සයිකලයේ ප්ලගය ගලවා කාරයේ තිබූ වැලි කඩදාසි කැබැල්ලක උදව්වෙන් එය පිරිසිදු කොට නැවතත් සවි කරන ආකාරය ශෂිකලා බොහෝ වුවමනාවෙන් බලා සිටියාය. ඇය තවත් මොහොතක් හෝ වැඩිපුර රඳවා ගැනීමේ වුවමනාව කවිඳුගේ සිතේ ඇති වී තිබිණි.
“බයික් එක ස්ටාර්ට් වුණේ නැත්නම් හොඳයි…”
ඔහු ආත්මාර්ථකාමීව එසේ සිතුවේය.
එහෙත් එය පණ ගැන්වුණේ ඔහුගේ බලාපොරොත්තුව උපන් තැනම කඩ කරවමිනි. එහු මවා ගත් සිනාවකින් යුතුව ශෂිකලා දෙස බැලීය. ඇය දෑසින් පවා සිනාසෙමින් ඔහු දෙස බලා සිටියාය.
“අනේ තෑන්ක්ස් මිස්ටර් සිරිවර්ධන.. බයික එක කැඩුණම මම හිටියේ කර කියා ගන්න දෙයක් නැතුව.. දෙයියෝ එව්වා වගේ ඔයා මෙතෙන්ට ආවේ..”
ඇය පැවසුවේ ජර්කිනය නැවත ඇඳ ගනිමිනි. ඉන් ඇගේ සොඳුරු ගැහැනු බව වැසී යනු දුටු කවිඳුගේ සිතේ කනස්සල්ලක් ඇති වූයේය. ඔහු බයිසිකලයෙන් නොබැස තවත් මොහොතක් බලා සිටියේ ඇය වහාම නික්ම යනු ඇතැයි බියක් ඇති වූ නිසාය.
“මේ පාළු පාරෙ කොහෙ යන්නද ඔයා ආවේ..?”
ඔහු අසද්දී කාරණය කියම් ද නොකියම් දැයි දෙගිඩියාවකින් මෙන් ඈත මෑත බලමින් මඳ වේලාවක් ගත කළ ඇය දිගු සුසුමක් හෙලුවාය.
Reviews
There are no reviews yet.