අධිෂ්ක රෝහලට ගොස් ආපසු නිවසට එද්දී දින කිහිපයකට නිවාඩු ඉල්ලාගත් නිහාල් ආපසු ඇවිත් ඉන්නවා දැක පුදුමයෙන් නිහාල්ගේ මුහුණ බැලුවා.
“නිහාල් මේ වෙලාවේ? ආපහු එන්නම් කිව්වේ අනිද්දා නේද?”
“මහත්තයා මොකද මේ මගේ බයික් කට්ටේ නැගලා? වාහනේ අවුලක්ද? අයියෝ කියන්ඩ එපැයි. එහෙනම් මම මේ වාහනේ අරගෙන එනවනේ”
නිහාල් අහපු දේට වෙනස්ම පිළිතුරක් දෙද්දී එවර අධිෂ්ක මොහොතකට දෑස් පියාගත්තා.
සියල්ලම පැටලී ඇත. සියල්ලටම වඩා තමා වටේ ඉන්න මිනිස්සුත් කරන්නේ අධිෂ්ක අසන දේට පිළිතුරක් නොදී රට පැටලවීමය.
“යකෝ අහපු දේට උත්තර දීපන්..උඹ මොකද මේ අවේලාවේ?”
අධිෂ්කට කේන්ති ගොස් තිබෙනවා දැකපු නිහාල් එවර නිවස දෙස බැලුවා.
“මේකයි මහත්තයා..නංගි..න්..මේ..මේ නෝනා කතා කරලා කිව්වා ආච්චිට සනීප නැහැ..මේ..මේ එන්න පුළුවන්ද කියලා…”
නිහාල් පටල පටලා කියද්දී අධිෂ්ක එවර කේන්තියෙන් මුහුණ පිසගත්තා.
බලාගෙන යනවිට සියල්ලම එක පොදියේය. තියෙන ප්‍රශ්න ගොඩ මදිවාට ඈත තිබෙන ප්‍රශ්න වලටත් එන්න එන්න කියා අඬ ගසයි.
මේ යන හැටියට නම් සුදු මැණිකේ, ඇයගේ ආච්චි, මිල්ටන් මහත්තයා විතරක් නොව නිහාල් අයියාවද අල්ලා එක ගෝනියකට දමා ගැටගසන්න හැකිය. සියල්ලෝම එකම වල්ලේ පොල්ය.
අනේ ඇත්තමයි මේ ගෑනුන්ට නම් පණ්ඩිතකම අල්ට්රා ප්‍රෝ මැක්ස් වෙන හෝමෝන් එකක් ඇඟේ තියෙනවද කොහෙද? ඔය කරලා තියෙන්නේ වැඩක්..!
දැන් ඉතින් මේ සිදුවීම් සියල්ල නිහාල්ට එකේ සිට පහදා දිය යුතුය. නොකිව්වත් නිහාල්වත් දැන් මේ මෙහෙයුමට හවුල් කරගත යුතුය.
“වරෙන් පොඩ්ඩක් ගාඩ්න් එකට..මට උඹට වැදගත් දෙයක් කියන්න තියෙනවා”
අධිෂ්ක එසේ කියද්දී නිහාල් පුදුමයෙන් ආයෙමත් නිවස දෙස බැලුවා.
**********************************
**********************************
දැන් පැයක් තිස්සේ මාත්‍රාත් විල්බටුත් ට්රැක්ටරය පණගන්වා ගන්න නොගත් උත්සාහයක් නැත. අවසානයේ මහත් පරිශ්‍රමයක් දරා එය පණගන්වාගත් විගස විල්බට් සැනසුම් හුස්මක් ගත්තා.
“සුදු මැණිකේ ඔන්න ඕක පාරෙන් අහකට අයින් කොරන්ඩ..දැන් තව ඩිංගකින් දළු ට්‍රැක්ටරේ එනවා නෙව. ඕකේ ප්‍රදීප් අනිත් එකා. ඒ ගමන මෙතන යන්ඩ පාරේ ඉඩ නැහැයි කියලා ඊළඟට ඕකා යම නැටුම් නටන්න පටන්ගනී”
දළු ට්‍රැක්ටරයට අලුතින් වැඩට ඇවිත් ඉන්න ප්‍රදීප් ගැන කියමින් විල්බට් කෑගැසුවා.
එන්ජිමේ දෝෂය නිසාම ට්‍රැක්ටරයෙන් අමුතු හඬක් නැගෙද්දී මාත්‍රා ඒ අතරේ ට්රැක්ටරය පණගන්වාගෙන ඉදිරියට ගන්න හැදුවා පමණී.
ඒ එක්කම ඉදිරියට එමින් තිබුණු නවීන ජීප් රථය දැක මාත්‍රා බයෙන් වටපිට බැලුවා. මේ ගෙවුණු මාස හතටම නාව වාහයක් අදම වත්තට එන අයුරු දැක මාත්‍රා විල්බට්ට කෑගැසුවා.
“අනේ මාමේ..!”
“මොකෝ මැණිකේ”
විල්බට් බිම දමා තිබුණු යතුරු අඬු එක පොදියට පටවා ට්‍රැක්ටරයේ පිටුපස ට්‍රේලරයට දමමින් කෑගැසුවා.
“ක්..කවුද ඇවිත්”
“මොකාක්?”
එසේ කියාගෙන විල්බට් ට්රැක්ටරය පිටුපස්සේ සිට පාරට දුවගෙන ආවා.
“දෙයියනේ පොඩි හාමු..!”
විල්බට් එහෙම කියාගෙන මාත්‍රා ආසලට දුවගෙන ආවා.
“මැණිකේ..කෝ කෝ ඕක ඉක්මනින් අහක් කරගන්න පාරෙන්”
“හා..හරි”
මාත්‍රා හැකි ඉක්මනින් ට්රැක්ටරය පාරෙන් ඉවතට අයින් කළා.
නමුත් එය ජීප් රථයට මාරුවෙන්න තරම් ඉඩක් නොවෙද්දී මාත්‍රා දහදිය දමන මුහුණ අතින් පිසගෙන විල්බට්ගේ මුහුණ බැලුවා.
ඒ එක්කම ජීප් රථයෙන් බැසගෙන එන අධිෂ්ක දකිද්දී මාත්‍රා ආයෙමත් මුහුණ පිසගත්තා.
“කවුද මේ? විල්බට්ගේ ඇසිස්ටන්ට්ද?”
ඒ වෙද්දීත් මුහුණ පුරා මජන් තෙල් නැහැවී සිටි මාත්‍රා දෙස බලමින් අධිෂ්ක ඇසුවා.
“ම..මහත්තයා..මේ..මේ අපේ”
“කවුද විල්බට් මේ වත්තේ වැඩකරන අලුත් නින්ජා?”
“නින්ජා නෙමෙයි හාමු මේ මැණිකේගේ නම මාත්‍රා”
විල්බට් නොදැන කියූ කතාවට අධිෂ්ක මහ හඬින් සිනාසෙද්දී විල්බට් එවර අසරණ මුහුණින් මාත්‍රා දෙසත් අධිෂ්ක දෙසත් බැලුවා.
Reviews
There are no reviews yet.