ගිම්හානය එළඹුණි. ගිමත් කළට තනි මකන පුරුදු පතොක් මල් ඕනෑ තරම් පිපී ඇතත් වස්සානයක් නැති ගිම්හාන පොළවක වැහි මල් පිපෙනු කෙසේ වේද ? බිත්ති උසටත් වැඩියෙන් නම්බුව යන සිව් අකුරු උසට උසේ ගොඩගසාගත් පහන්දෙනිය වලව්ව ඇතුලත පැවති නිහඩතාවය බිඳී යන්නට ගත වූයේ මොහොතකි. බිත්ති මත ගැටී ආපස්සට දෝංකාර දෙමින් විසල් හඩක් නංවාගෙනම දෙවන මහලේ කොරිඩෝවේ බිම වැටී බිඳී ගියේ බොන්සායි වර්ගයේ අරලියා ගසක් සහිත මැටියෙන් සාදා කැටයම් කළ රවුම් මල් පෝච්චියකකි.
අඩක් පමණක් අත් නැවූ කලු කමිස අතක, මැණික් කටුවත් වැළමිටත් අතර තැනකින් අරඹා අත දිගේ ගලා ගිය රුධිරය බිංඳු කිහිපයක් සුදු ටයිල් කැට ඇතිරූ පොළව මත සිත්තම් වෙද්දි බිඳුණු පෝච්චි කටු උඩින්ම සපත්තු අඩි තබා අනුත් මිස්සර රණබාහු සිය කුටිය වෙත ගියේ කිසිවක් සිදු නොවූ අයුරිනි. බිඳුණු මල් පෝච්චි කටුවක් ගැටී අතෙහි වූ කැපුම් තුවාලය දෙස කිසිඳු වුවමනාවකින් නොබැලූ ඔහු කමිස බොත්තම් පන්නමින් ලෙහා දැමූ කමිසයත් අතකින් රැගෙන නානකාමරය වෙත ඇතුලු විය.
*******************************
දික්කසාදය සඳහා ආරම්භයක් ගැනීමට උදෑසන අටයි තිහට මා වලව්වෙන් පිටත් විය. අද දවසේ හමුව සඳහා පෙර දින ඇමතුමකින් මා වෙලාව වෙන්කරවාගන තිබුනි. ‘නීතිඥ රවීන්ද්ර සපරමාදු’ කාර්යාල කුටියේ හතරැස් මේසය මැඳ තිබූ නාමපුවරුව කියවගෙනම මම හිස් අසුනේ හිඳගත්තෙමි. විවාහ දිවිය අතහැරීමේ පළමු පියවර ලෙසට නීතිඥවරයා ඉදිරියේ මාගේ අත් අකුරින් පෙරකලාසිය මත මම අත්සන් තැබුවෙමි.
හෝරා දෙකකුත් මිනිත්තු කිහිපයක් ගෙවී ගොසින් ඇත. පැමිණි කර්තව්යය අවසානයේ මා සිටියේ ගමනාන්තයක් නැති ගමනක් යමිනි. කලකට පෙර බොහෝ හුරුපුරුදු වූ එනමුත් වසර කිහිපයකින් අඩියක් හෝ නොතැබූ රොබරෝසියා වැටුණු මාවත දිගේ මා ඇවිඳ යන්නට වූයේ හිස් වුණු සිතක් සමගිනි. අතැගිලි එකට පටලවාගනිමින් පෙම්වතුන් ලෙස අත් අල්ලන් ඇවිඳ ගිය අතීත මතක වැව රවුම වටා ඕනෑ තරම් ඇත. දුකක් නොදැනෙන බව, කදුළු නොවැටෙන බව පිටතට පෙන්නාම මා වෙහෙසට පත්ව තිබුනි. ඉතින් නෙතු අගින් වැටුණු කදුළ, වැව් දියට පමණක් පෙනී සැඟවුනි. ප්රේමය යනු කුමක්ද ? කලකට පෙර තිබූ ඒ ප්රේමය දැන් කොහෙද ? මේවාට උත්තර සොයා ගත නොහැකි තරමට සිත දුර්වල වී ගොසිනි. මා සතුව තවදුරටත් ඉතිරී වී සිටියේ නුවංග අතින් බිඳ දමන ලඳ එක් ගැහැණු චරිතයකි.
Reviews
There are no reviews yet.