“කොහෙද යන්නෙ..?” ඔහු ඇසීය.
අතේ පොත් ද ඇති බැව් දැක දැකම එසේ අසන තරුණයෙකුට දිය යුතු සරදම මුසු පිළිතුරු රැසක් මගේ වචන කෝෂයේ ඇති බැව් යෙහෙළියෝ නම් දැන සිටියහ.
“යන්නෙ බස් එකේ..”
“ඉස්සරහට යනවා..”
“වයසට යනවා..”
ඔවැනි යමක් මම අනිවාර්යයෙන්ම කියන්නෙමි. ඇතැම් විට ඒ පිළිතුරු නිසා ඒ පැනය නැගූ තරුණයා පමණක් නොව යෙහෙළියන් ද අපහසුවට පත් වූ අවස්ථා තිබිණි. එහෙත් පුදුමයකට මෙන් මේ තරුණයා එසේ සරදම් කර අපහසුවට පත් කරන්නට මම අකැමැති වීමි.
“නුවර යනවා.. ක්ලාස්..”
දෙවරක් නොසිතාම මම කීවෙමි. මා තවමත් පාසැල් සිසුවියක බැව් ඔහුට ඒත්තු ගැන්වීම ද මගේ අරමුණ වෙන්නට ඇත.
“මොනවද අද තියෙන්නෙ..?”
මගේ ළමැදට තුරුළු වී තිබූ පොත් මිටිය දෙස ද බැල්මක් හෙලූ ඔහු විමසුවේය.
“කෙමිස්ටි්‍ර..”
“ආ.. එතකොට ඔයා සයන්ස් ද කරන්නෙ.. ඒ ලෙවල්වලට..?”
“ඔව්..” මා කීවේ ආඩම්බරයෙනි.
විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන බොහෝ දෙනා තුළ තමන් අනෙක් අයට වඩා ඉහළ බවට පුහු මාන්නයක් තිබිණි. මට ද ඒ හැඟීමෙන් ගැලවී ගත නොහැකි වූයේය.
“කොයි ඉස්කෝලෙ ද..?”
“නුගවෙල සෙන්ට්‍රල්..”
“එතකොට ඕගස්ට්වල ද එක්සෑම්..?”
“ඔව්..”
මා කී විට ඔහුගේ දෙතොලේ වූ මඳහස පුළුල් වූයේය.
*****************************************
එක කුඩයක් යට ඔහුට තුරුළුව ගමන් කරන දසුනක් මැවී මසිත උණුසුම් විණි. පෙම්වතුන්ගේ ලෝකය ඉතාමත්ම අහිංසකය. ඒවායේ ඇත්තේ සමනල තටු තරම් සැහැල්ලු වූත් විචිත්‍ර වූත් පුංචි පුංචි සිහින පැතුම්ය. ඒවා වැඩිහිටියෙකුට කිවහොත් බොළඳත්වය ගැන බැරෑරුම් දේශනාවකට සවන් දෙන්නට සිදු වෙනවා ඇත. එහෙත් ඔවුන් ද එකල ජීවිතය විඳින්නට ඇත්තේ එබඳුම සැහැල්ලුවෙන් බැව් නිසැකය. මගේ දෙතොල සිනාවකින් විවර වූයේය.
“රයිට්.. ඔය හිනාව කියන්නෙ මාලිගාවට යමු කියලා.. යමු..”
ඔහු කිසිදු පැකිළීමකින් තොරව මගේ අතකින් අල්ලා ගත්තේය. මට දැනුණේ එක්වරම පපුව නැවතුණාක් බඳු ස්වභාවයකි. අත සීතල වූයේ වැව් දිය සිපගෙන හමන මඳනල නිසා නොවේ. මිශ්‍ර පාසැලක ඉගෙනුම ලබන මට පිරිමි ළමයෙකු අතින් ඇල්ලීම අරුම දෙයක් වූයේ නැත. ඇතැම් අවස්ථාවල අහම්බෙන් නගරයේදී හමු වූ විටත් අත් අල්ලාගෙන කතා කරන පිරිමි ළමෝ සිටියහ. එහෙත් ඔවුන් කෙරෙහි සහෝදරාත්මක හැඟීමක් විනා වෙන කිසිම දෙයක් දැනුණේ නැත. එහෙත් නිදුක්ගේ ස්පර්ශය දැනුණේ අතට නොව හිතටය. බිය, කුතුහලය, ආශාව පමණක් නොව ලැජ්ජාවක් ද මා පෙළන්නට වුයේය. මොහු මගේ නොවන මගේම කෙනෙකු නොවන්නේදැයි සිත ප්‍රශ්න කළේය. ගෙදරදී නපුරු වුව ද ගෙදරින් පිටතදී හැම දෙයක්ම සැහැල්ලුවට ගන්නා දඟකාරියක වූ මම ජීවිතය අලුතෙන් කියවන්නට පටන් ගෙන සිටියෙමි.
“මොකද ගැහෙන්නෙ..?”
ඔහු මගේ අත හෙමිහිට තද කරමින් ඇසුවේය.
“ඔයාට බය නැද්ද කවුරුවත් දකියි කියලා..?”
මම දුර්වල හඬින් විමසීමි.
“මොනවට බය වෙන්න ද..? ඔයා දැන් මගේනෙ..”
*********************************************************
“රටේ රාජ්‍ය භාෂාව සිංහල වුණාට ඉංග්‍රීසි භාෂාව නැතුව මොන දෙයක්වත් කර ගන්න බෑ කියලා තේරෙන්නෙ රස්සාවක් කරන්න ගිය දවසට.. ඒ හින්දා මේ ලැබිච්චි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. මම මේ පන්තියට ළමයි විසි පහක් විතරක් ගත්තෙ හැම එක්කෙනා ගැනම වෙන වෙනම බලන්න පුළුවන් හින්දා.. අපි සල්ලි ගෙවනවනෙ කියලා කිසිම කෙනෙකුට ක්ලාස් කට් කරන්න බෑ කියලා මතක තියා ගන්න.. ඒ වගේම ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕන ඉංග්‍රිසියෙන්.. මම අද සිංහලෙන් කතා කළාට මීට පස්සෙ කතා කරන්නෙ ඉංග්‍රිසියෙන් විතරයි.. ඔයාලටත් සිංහල කතා කරන්න අවසර නෑ..”
ඔහු එසේ කියද්දී ගැහැනු ළමෝ ලැජ්ජාවෙන් සිනාසෙමින් එකිනෙකා දෙස බලා ගත්හ. එහෙත් පුදුමයකට මෙන් මට එවැන්නක් දැනුණේ නැත. අයියා යනුවෙන් තමා අමතන ලෙස කියා ඔහු ගුරුගෝල පරතරය අඩු කර තිබීම නිසාදෝ මට දැනුණේ ඔහු සම වයසේ තැනැත්තෙකු මෙනි.
“මෙතන ඉන්න හැමෝම ඇවිත් ඉන්නෙ ඉගෙන ගන්න.. ඒ හින්දා කිසිම කෙනෙකුට වැරදුණා කියලා ලැජ්ජා වෙන්න හේතුවක් නෑ.. මොකද ඉංග්‍රිසි කියන්නෙ අපේ භාෂාව නෙමෙයි.. ඇත්තටම කියනවා නම් අපි ලැජ්ජා වෙන්න ඕන සිංහල වරද්දන්න..”
ඔහුගේ වචනයක් පාසාම අලුත් ආත්ම ශක්තියක් සිත තදින් බදා ගත්තේය. ඉංග්‍රීසි භාෂාව වෛද්‍යවරියකට අත්‍යවශ්‍යම දෙයක් නොවන්නේදැයි මට සිතිණි.
“පුංචි දොස්තර නෝනලා චටපට ගාලා ඉංග්‍රිසියෙන් කතා කරනකොට බලන්ට එපායැ ලස්සන..”
මල්ලි මාමා ගේ එවදන් මට සිහිපත් වූයේය. ඔහුට වුවමනා කර ඇත්තේ මාත් එලෙස බස වහරනු දකින්නටය. ඉදින් ඔහුගේ බලාපොරොත්තුව එලෙසින්ම ඉටු කරන්නට මම සිතත් සමඟ ගිවිස ගතිමි. එම නිසාම අනෙක් අය පැකිළෙද්දී ගුරුවරයා ඇසූ ප්‍රශ්නවලට දන්නා ඉංග්‍රීසියෙන් පිළිතුරු දෙන්නට මම ඉදිරිපත් වූයෙමි. එහිදී පෙරට එන්නට ඇත්තේ ගෙදර සිටින මා නොව පාසැලේ සිටින කටකාර, දඟකාර මාය.
“ගුඩ්.. වෙරි ගුඩ්..”
Reviews
There are no reviews yet.