කතාබහ අතරේම සියල්ලන්ගේ අවධානය තමන් වෙතින් මිදුණු බව දැනගත් තරුණයා තමන්ට දකුණුපසින් වූ තරුණිය දෙස ඍජුව බැලුවේ ඒ මොහොතේ. තවමත් ඇය සිටින්නේ දෑස් මේසය මතට හරවාගෙන. හදවතට පැමිණි පළමු අදහස ඔහු කිසිවක් නොසිතාම ක්රියාත්මක කළා.
“රන්ට මොනවද ඕනේ..? ” මෘදු ළයාදර හඬකින් ඇසුණු පැනයට ගැස්සී ගිය රන්දි ක්ෂණිකව හිස හරවා ඔහු දෙස බැලුවේ පුදුමයෙන් අයාගත් දෙනෙතින්. සමීපව පෙනෙන පැහැපත් කම්මුල් මත වූ දිස්නය පරයමින් තැනින් තැන වැවී තිබුනු රැවුල් ගස් මෙන්ම අකීකරු ලෙසින් පුළුල් නළල් තලය මත වැටී ඇති කෙස් රොදවල් කීපය පවා ඇගේ දෑස් හොඳින් දැක ගත්තා. තත්පර කීපයක් ගෙවී ගියත් දෙසවන් අතරින් ඒ හඬ වියැකී ගියේ නැහැ. රන්දිට දැනුනේ හදිසියේ පහල වූ සුළි කුණාටුවක් තුල ඇය තනි වුනා වගේ.
****************************
“අජිත් මේ අන්තිම පාරට අහන්නේ… තමුසෙට බඩු දෙන්නේ කවුද?.”
“සිගා… තමුසේ වැඩ කරන්නේ අපි ඔක්කොම පාවලා දෙන විදිහට. මේ අජිත් එක්ක ඒවා හරියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්නවා.” අජිත්ගේ පිළිතුරත් සමග කෝපයෙන් අත මිට මොලවාගනිමින් ආපසු හැරෙන විට ජනෙල් කපොල්ල අසල ගුරු පැහැ ඇඟළුමක් පහන් දුටුවේ ඇස් අගින්. ඊට සමාන්තරව පසුපසට ගෙන ගිය බැල්ම කොන්ක්රීට් ගල් දෙකක් අතර හිඩැසක් සහිත වූ තැනින් හුරු පුරුදු මුහුණ දැක ගත්තා. පුදුමයත්, බියත්, කෝපයත් සම්මිශ්රණය වූ හැඟීමකින් පහන් කලබලෙන් කවුළුව දෙසට ඇවිද ගියේ ඉක්මන් ගමනින්. සිය දෑස් රැවටී හෝ බොරුවක් සිදු කර නැහැ. මේ සිටින්නේ ඇයමයි. පෙරදා සිය උණුසුමේ සැඟවී ආදරේ බෙදාගත් ඇයමයි.
ජීවිතයත් මරණයත් අතර බොහෝ අවස්ථා වලදී ක්ෂණික තීරණ ගෙන පුරුදු පහන්ගේ ස්නායු අග්ර එවැනි අවස්ථාවකදී හෝ නොමැති තරමට වේගයෙන් ක්රියා කිරීමට පටන් ගත්තා. ඔහු ඉක්මනින් ඇමතුමක් ගත්තේ වසන්තට.
*****************************
“තවම ඔතනද යකෝ… ඉක්මනට වරෙන්. අපේ පස්සෙන් කට්ටිය එනවා. මම ලයිබ්රි එක ළඟ නවතින්නේ නැතුව එහෙමම ඉස්සරහට එනවා. කෝල් එකේ ඉඳපන්. අනික රන්ව ගත්ත ගමන් ආයේ කොහෙවත් නවතින්නේ නැහැ කෙලින්ම ගෙදරට, හරිද… ගෙදර තුන් දෙනෙක් ඩියුටි ඉන්නවානෙ, උන්ට රෙඩි පිට ඉන්න කියහන්. හදිස්සියෙවත් කවුරුහරි ෆලෝ කරනවා වගේ දැනුනොත් කෙලින්ම ගෙදරට යන්න එපා. තේරෙනවානෙ… “පහන් අණ නිකුත් කලේ අවියකින් පිට වන උණ්ඩ තරම් වේගයෙන්. ඇතුලතින් ගැහෙමින් එහෙත් පිටතට එය පෙන්වා නොසිටීමට හැකි හැම උත්සහක්ම කරමින් රන්දි සිටියේ ඇඟිලි තුඩු එකිනෙක තදින් තද කරගනිමින්.
“රන් වසන්තට කෝල් කරන්න…” පහන්ගේ අණ දීම් හමුවේ රන්දිට තිබුනේ රොබෝවෙක් මෙන් ක්රියා කිරීම පමණයි. ඇය ඇමතුම් ලැයිස්තුව පිරික්සා වසන්තගේ අංකයට ඇමතුමක් යොමු කරා.
“වසන්ත ඉස්සරහින් මම මිස්ව බස්සනවා. විනාඩි පහකට කවර් කරහං… ඊට පස්සේ මම ඔතනට එනවා.”
“හරි බොස්.. හරි… “
Reviews
There are no reviews yet.