“අර අසනීපෙන් ඉන්න දරුවට මොන ඉංග්රීසි ද..? ඒ දරුවට කෙළින් ඉන්නවත් පණ නෑ.. ගුරා ගෙන්නගෙන තියෙන්නෙ මෙයාගෙ වුවමනාවට..” අම්මා සෘජුවම මට චෝදනා කළාය.
“අසාධාරණ කතා කියන්න එපා අම්මෙ..”
මම රිදුණ හඬින් කීවෙමි.
“අසාධාරණ කතා නෙමෙයි.. අම්මා කියන්නෙ ඇත්ත.. දරුවට ඉස්කෝලේ යන්නත් බැරි තරම් අමාරු හින්දා ගෙදර තියා ගත්තෙ.. ගුරා ගෙන්නා ගත්තෙ ඔයාට ඕනවටම තමයි..”
අක්කාත් පුරුදු ලෙසම අම්මාගේ පැත්තට පෝර දැමුවාය.
“මගෙ කොල්ලට නාස් ලණුව දාගෙන මෙයාට ඕන ඕන විදියට නටවනවා.. බලමු තව කී කාලයක් ඕවා කරයි ද කියලා.”
අම්මා ද්වේෂ සහගත හඬින් කියද්දී මම වෙව්ලා ගියෙමි. එදාත් ඇය මට තරවටු කළේ මේ නිවසින් පිට වී යන්නේ සියල්ල සනුරට දැනුම් දීමෙන් අනතුරුව බවය. මා කිසිදු වරදක් නොකළ බැව් ඇත්තකි. එහෙත් ගල් දහයක් ගසද්දී එකක් හෝ වදින්නට ඉඩ තිබේ. අම්මාත් අක්කාත් නැති වැරදි මවා පාමින් කියද්දී සනුර එකක් හෝ විශ්වාස නොකරනු ඇතැයි සහතික කර කියන්නට පුළුවන්කමක් නැත. ඒ ඔහුගේම අම්මාත් අක්කාත්ය. අපේ සුන්දර යුග ජීවිතය දෙදරවන්නට ඇය මෙතරම් වෑයම් කරන්නේ මක් නිසාදැයි සිතෙද්දී මගේ ඇස්වලට කඳුළු පිරී ආවේය.
*********************************************
“බොනවා කියලා හැමෝම දෙවෙනිට බැන්නට මෙයාට වැඩිය එයා හොඳයිනෙ.. එයා ඔහොම කියවන්නෙ නෑනෙ කවදාවත්..”
මා කීවේ ඒ කරච්චලය ඉවසන්නට නොහැකි වූ නිසාය. සුසුමක් හෙලූ සනුර මගේ මුහුණ දෝතට ගෙන දෑසට එබී මොහොතක් සිට සුසුමක් හෙලුවේය.
“මගේ පවුල් අය ගැන ඔයා දවසින් දවස කළකිරෙනවා නේද මැණිකේ..?”
“පිස්සු ද සනු..? මොනවද මේ කියවන්නෙ..? දැන් ඔයාගෙ පවුල මගේ පවුල කියලා දෙකක් නෑ.. තියෙන්නෙ අපේ පවුල.. ඒකේ ඇති වෙන ප්රශ්න අපි දෙන්නටම පොදුයි.. විකාර කියවකියවා ඉන්නෙ නැතුව ඉක්මනට මේ ටික ඉවර කරමු.. තවත් රෑ වෙලා මේවා ගෙනිච්චොත් අචලට අස්පස් කර ගන්නත් බැරි වෙයි.. ”
මම බොරු කලබලයක් පාමින් ඔහුගේ දෑතින් මිදුණෙමි. සැබැවින්ම මට වුවමනා වූයේ අම්මා නැවත කාමරයට පැමිණෙන්නට පෙර මැෂිම කැබ් රියට පැටවීමටය. ඇය සිටියොත් එයට ඉඩක් නොලැබෙන බැව් මම දැන සිටියෙමි.
විරාජිනී අත තිබූ අලංකාර බෝනික්කා ඇතුළු කිහිපයක්ම සාම්පල පෙට්ටියෙන් අතුරුදන්ව තිබිණි. දැඩි වේදනාවක් දැනුණත් මම ඒ පිළිබඳව කිසිවෙකුගෙන් විමසන්නට නොගියෙමි. සනුරටවත් ඒ ගැන කියන්නට දිරියක් මට නොවිණි. අප අචලාගේ නිවසට ගියේ පුතා ද නිදි කරවීමෙන් අනතුරුවය. කිව යුතු දේ නොකිව යුතු දේ තෝරාබේරාගෙන කතා කරන්නට පොඩි උන් දන්නේ නැත. ගෙදර සිදු වූ දේවල් පුතා වෙතින් අචලාගේ කනටවත් යනවාට මම අකැමැති වීමි.
අප එන බැව් දැනුම් දී තිබූ නිසා අචලා ඇගේ කුඩා නිවසේ කාමරයක් අස්පස් කර තිබිණි. එහෙත් අපේ නිවසින් එලෙස පිටමං වෙන්නට සිදු වීම පිළිබඳව ඇය සිටියේ බලවත් සිත් වේදනාවෙනි. ඇය හඬද්දී ඈ සමඟම මමත් හඬා වැටුණෙමි.
“අචලා ගෙදර ඉඳන් මහන්න හිතපු එක හොඳයි නෝනා.. දුවත් දැන් ලොකුයිනෙ.. ඔය කාලෙ තමයි ඇහැ ගහගෙනම ඉන්න ඕන වයස.. මටත් ඉතින් දැන් දරුවෝ පස්සෙ දුවන්න පනින්න හයිහත්තියක් නෑනෙ..” අප දෙදෙනා හඬනවා දුටු නැන්දා කීවාය.
“ඔව් මිස්.. හැමදේම වෙන්නෙ හොඳට කියලා කියනවනෙ..”
අචලා සුසුමක් හෙළමින් කීවේ ඇගේම හිත හදා ගන්නට විය යුතුයයි මම සිතීමි.
Reviews
There are no reviews yet.