“කුමරුනි.. කුමරුනි..”
කුටියේ දොරට තට්ටු දමමින් උස් හඬින් සේවකයෙකු කෑ ගසනු ඇසෙද්දී ඔහු වහා ඡායාරූපය සඟවා දමා කුටියෙන් පිටතට පැමිණියේය.
“ආවදා කුමරියගේ තත්ත්වය බැරෑරුම්.. වෙදදුරු ඔබට වහා පැමිණෙන්න යැයි දැනුම් දුන්නා..”
දොර අසළ සිටි සේවකයා වේගයෙන් පවසාගෙන ගියේ ඔහු කලබලයට පත් කරමිනි.
ඔහු හැකි වේගයෙන් වෙදහළ වෙත ගමන් කළේ ආවදාගේ ජීවිතය ගැන සැක සංකා සිත පුරා රජයන විටය.
“ඒද්.. කුමක්ද ආවදාට සිදු වූයේ..?”
ඔහු වෙදහළට ඇතුල් වන විටම එහි පැමිණ සිටි ඒවද් විමසුවේ කුතුහලයෙනි. අවදාගේ මව පියා සේම, සිය මව ද එහි සිටිනු දකිනා විට ඔහු හුස්මක් ඇද ගනිමින් පියා අසළ නැවතිණි.
“විෂ ඊතලයක් වැදුණා පියාණෙනි.. කව්රුන් විසින් සිදු කළේ දැයි තවමත් සොයාගත නොහැකි වූවා..”
****************************
නිහඬ, සිත සනසනා අන්දමේ පැහැයන්ගෙන් හැඩ වූ කෝපි අවන්හලේ, මේසයක දෙපස අසුන්ගෙන සිටි ඕෂධී හා දෙනෙත් වරින් වර එකිනෙකා දෙස බැලුම් හෙලූහ.
දෙනෙත් වදන් නොගැලපුවාක් සේම, ඇයට ද වදන් ගලපා ගත නොහැකි විය.
“නංගී.. තැන්ක් යූ කෝෆි එකකට ආවාට..”
අවන්හලේ සේවකයෙකු කැපචිනෝ කෝපි කෝප්ප දෙකක්, කේක් කැබලි දෙකක් මේසය මත තැන්පත් කර ගිය පසු, දෙනෙත් හඬ අවදි කළේය.
ඇය මුදු සිනාවක් පෑවාය.
ඉරිදා දිනය ඇය නිදහසේ නිවසට වී ගෙවනා දිනය වුවත්, පෙරදින රාත්‍රියේ දෙනෙත්ගෙන් පැමිණි ඇමතුම නිසා ඇය සිය සැලසුම් වෙනස් කළාය.
ඔහු, කොළඹ පැමිණෙන බවත්, තමා හමු වී කතා කිරීමට කැමැති බවත් පවසද්දී ඇයට ඊට අකැමැති වෙන්නට හේතුවක් නොවිණි.
***********************************
“ඇත්තටම මොකද සයුරු වුණේ ඔයා ගියාට පස්සේ.,? හැමදේම හොඳින් ද දැන් එහෙ..? ඔයා ආයෙත් යන්න ඕනේ නැද්ද..?”
ඔහු සුසුමක් හෙලමින් ඇය මුදා හැරියේ තවත් වරක් ඇය සිප ගනිමිනි.
“සේරම කියන්නම්.. ඉස්සරහට යන්න ඕනේ නැද්ද..? දෙනෙත්ව මට අඳුන්නලා දෙන්න.. කේනිව අඳුන ගන්න..?”
ඇය මොහොතක් ඔහුගේ දෑස් දෙස එක එල්ලේම බලනා විට ඔහු දෑස් මඟ හැරියේය.
“මට බයයි සයුරු.. ඔයා මට මොනවා හරි හංගනවා.. ඔයාට වගේ මට හිත කියවන්න බෑ.. ප්ලීස් මට හැමදේම කියන්න.. මොකක්ද එහෙ වුණේ..? දැන් මොකද වෙන්නේ..?”
“කිසිම දෙයක් හංගන්නේ නැතුව කියනවා.. පොරොන්දු වුණානේ.. ඉස්සෙල්ලා අපි කට්ටියට කතා කරලා එමු.. කව්රුත් ඔයා ගැන වැරදියට හිතන්න ඕනේ නෑ.. වෙන ඇඳුමක් දාගෙන එන්නකෝ ඕෂධී.. මේක ඉරුණනේ..”
Reviews
There are no reviews yet.