ඉස්කෝලෙ පොතේ මගෙ නම තිබුණෙ දොන් සිමන් රාළලාගේ ජයම්පති ජයසිංහ කියලා. ඔය නම දැම්මෙ පංසලේ ලොකු හාමුදුරුවෝ කියලයි අපේ අම්මා නම් කියන්නේ.
“යකෝ මේක එසේ මෙසේ වෙලාවක් නම් නෙවෙයි බොලව්. ස්ත්රී සම්පත්ති ලබන්න උපතින්ම තියෙන හඳහනක්. කොලුවගෙ වෙලාව අනුවනම් එහෙම ලොට්ට පෙනුම හිටින එකකුත් නෑ. ඒක හින්දා කොලුවට ජයම්පති කියලා නම දාහල්ලා. ඔය ජයම්පති කුමාරයගෙ රූපෙ දැකලනෙ පබාවතී උනත් වහ වැටිලා ආවෙ. කොහොම වුනත් ගෑනුන්ගෙ බැල්ම තීනවා.” කියලා වේල පත්කඩේ අතට ගත්ත හැටියෙ ලොකු හාමුදුරුවො කිව්වා කියලා අපේ ආච්චි කියනවා. උන්දැනෙ ඕක බලවන්න ගෙනිහින් තීන්නෙ.
“අනේ අනිච්චං ඒකෙත් හැටි. නම ජයම්පති උනාට මූත් දැන් මේ ගෑනු හින්දා දුක් විඳින්නෙ කුස රජ්ජුරුවෝ වගේනෙ. ” කියලා දැන් අපේ ආච්චි කියනවා ඇති.
ජයම්පති
________________________________
මං චිත්රලතා. නිකම්ම චිත්රලතා නෙවෙයි. ගල්කඩුව ආරච්චිලාගේ සමන් චිත්රලතා. සමන් කෑල්ලනං දැම්මෙ ඉස්පිරිතාලෙ හිටපු මිඩ්වැයිස් නෝනෙක් කියලා අම්මා කියන්නෙ. නමක් දාන්නය කියලා නැකතක් බලලත් නෑ. අපේ අම්මා ඉස්පිරිතාලෙන් ම නම දාගෙනතමයි ගෙදර ඇහිල්ලා තිබ්බෙ. ඔය නමේ සමන් කියන කෑල්ල පිරිමි නමක් වගේ හින්දා හැම තැනදීම චිත්රලතා කියන කෑල්ල තමයි භාවිතා උනේ. චිත්රලතා උනාට මට ගමේ හැමෝම කිව්වේ කලූ ය කියලා. ඉස්සර අපේ සිංහල ඉස්කෝලෙ මහත්තයා නිතරම කියනවනෙ.
මං අපේ මාමලහට ඇහිල්ලා දැන් ටික දවසක් වෙනවනෙ. මේක ආපිට යන්න ආව ගමනක් නෙවෙයි. මගෙ නෑනෙ ඔය පස්සට අඩිය තිබිලි. අඩියක් තිබ්බොත් ආයෙ ඉස්සරහටම තමා. ඒක මගෙ හැටි. මං එහෙට ආව කතාව නම් ටිකක් දිග කතාවක්. ඒත් කතාවෙ රැජින මම මිසක් වෙන එකියක් නම් නෙවෙයි.
කලූ
_________________________________
මගෙ හිතේ තීන හැමදේම මෙහෙම මෙහෙමයි කියලා නොකිව්වට ඒ හැමදේම අචිරවතී තේරුම් ගන්න ඇති කියලයි මං හිතුවෙ. මෙතුවක් කාලෙකට මේ හැමදේම දැක දැක නිස්සබ්දව හිටියෙ නෝන්ජල්කමකටවත්, උවමනාවක් නැති කමකටවත් නෙවෙයි. මට මේ ගැටේ ලිහාගෙන ඔක්කෝම පිළිවෙළක් කර ගන්න තේරුමක් නැති හන්දා. දීග කෑමක් නැති උනත් ඒකි මලයගෙ ගෑ-නිනෙ. ඉතින් එහෙම වගක් දැන දැනත් හිතේ තීන ඒවා මම උනත් කියන්නෙ කෝමෙයි.
මං හිතන්නෙ මගෙ හිතට අචිරවතී ආවෙ දැක්ක මුල්ම දවසෙ. ඒත් ඒ මගේ කියලා කියා ගන්න හිතුවිල්ලක් නම් නෙවෙයි. මේ වගේ සිරියාවන්ත ගෑනු පරානයක් මටත් හම්බවෙනවනං කියලා විතරයි. ඒ කතාව, ඒ හිනාව, ඒ අහිංසකකම. මං හිතන්නෙ ඒවයින් මං දැක්කෙ අපේ ආච්චි නිතරෝම කිව්ව මගෙ අම්මගෙ රූපෙ වෙන්න ඕනෑ.
චුට්ටෙ හෙවත් විජේදාස ගුණවර්ධන
_________________________________
පීපි නෝනා කිව්වහම මේ ලමයි බලාවි එකපාරටම කවිද මේ පීපි නෝනා කියලා. පීපි නෝනා කිව්වෙ මං. මේ ආච්චි. නැතුව ඉතින් අපිට කොයින්ද ඒ කාලෙ අද කාලෙ වගේ ඔය මෝස්තර දාපු නං. මගෙ නම නම් කවුරු දාලද දන්නෙ නෑ හැබෑට. කොහොම උනත් ඔය නමෙන් නම් කිසිම වැඩක් උනේ නෑ හැබෑට. මොකෝ අපේ ගෙවල්වලත් නම කියලා කතා කෙරිල්ලක් නෑනෙ. ගෙදර එක්කෙනත් කතා කලේ ලමයින්නෙ අම්මේ කියලා. මැරුණු කාලෙක තමයි ඕං ඕකෙ වටිනාකම තීන්නේ. පාංසකූලෙ දෙනකොට පීපි නෝනා උපාසිකා මාතාව කියලා නම කියන්න ඕනැනෙ. නැත්නම් මගේ නම නොකියා පිං ටික දුන්නොත් ඕක මට අයිති පිනක් කියලා හිතාගන්නෙ කොහොමෙයි.
මගෙ නම කොහොම උනත් අපේ කොලුවගෙ ගෑනිනම් මට කියන්නෙ චිං චිං නෝනා කියලලු. එහෙ පොඩි එකා, ටිකිරියා මෙහෙ ආව වෙලාවක මාත් එක්ක කිව්වා. මං කිව්වා මං නෙමේ බොල චිං චිං නෝනා උඹලගෙ අම්මා තමයි කියලා. චිං චිං නෝනා කියපුවාම නිකම් චිංචිමානවිකාව වගේ නෙවෙ ද? අනේ අපි නං කිසිදාක ඒ දහදුරාවි බුදුහාමුදුරුවන්ට කෙරුව වගේ අදරුමිස්ට කං හතුරෙකුටවත් කරලා නෑ උදව්වක් මිස.
පීපි නෝනා නොහොත් ආච්චි
_________________________________
ඒ උණුසුම මොහොතකටවත් අතාරින්න මට ලෝබ හිතුනා. මට ඕනැ උනේ මේ උනුහුමේම ගිලිලා ඉන්න. ඒ අත්වලට මිරිකිලා තෙරපිලා මොහොතකට දැනිච්ච වේදනාවත් මට දැනුනෙ සොඳුරු දඬුවමක්, මිහිරි රිදුමක් වගේ. ඒ මිහිරි රිදුමට ගෑ-නියෙක් මේ තරං වහ වැටෙන එක ගැන නං ආයෙ කතා දෙකක් නෑ. වාඩියෙ තිබ්බ ලී මැස්සෙ හීතල, ගොරෝසු බව මගෙ පිටට, උකුලට තදින් දැනුණා. සත්තයි මං හිටියෙ අමුතුම ලෝකෙක කියලයි මට හිතුනෙ.
මට මතක් උනේ ඒ අත්වල තිබ්බ මස් ගොබ. ඒවා ඉලිප්පිලා තිබුනා. වැස්සෙ උනත් ඒවායින් දාඩිය බේරුනා. ඒ දවස්වල මං නම් හිතුවෙ මේ හැඩිදැඩි මනුස්සයට සුකුමාල ගෑණු දරුවෙක් නම් හරි යන එකක් නෑ කියලා. ඒව මතක්වෙලා මට හිනාත් ගියා. ඒ උරහිසට යටින් ඉද්දි වැහිපොදක් නම් වැටුනේම නැති තරං. මට ඕනැ වුනේ ඒ පපුවෙ ඔළුව ඔබාගෙනම ඉන්න. මං හිතන්නෙ මං ඒ මොහොත වින්දා. ගැහෙන, වෙවිලන හුස්ම අස්සෙ මමත් හිටියෙ පිපාසෙන් වගේ. මං හිතන්නෙ මට වෙන කාව හරි ආවේස වෙලා තිබුණා. ඒ ආවේසෙන් මගෙ හිතේ ආසාව වහගෙන තිබ්බ ලැජ්ජාව කියන තිරේ අයින් කරලා දැම්මා.
ඒ උරහිස් මගෙන් ඈත් උනාම හයියෙන් උස් පහත් වෙච්චි ඒ පපුව උඩ මං ඔළුව තියා ගත්තා.
“අනේ අයියෙ කවදාවත් මාව තනි කරන්න එපා” මං හිමීට කොඳුරලා කිව්වා.
“උපාසකයෙක් වගේ මිනිහෙක්ව තමන්ගෙ කර ගන්නවට වඩා හැඩිදැඩි දඩබ්බර මිනිහෙක්ව තමන්ගෙ කර ගන්න තමයි ඕනැ ගෑ-නියෙක් කැමති.”
අචිරවතී
Reviews
There are no reviews yet.