මිත්‍ර සියල්ල අසා සිටියේය. ඔහුගේ ඉරියව් තුළ යම් පසුතැවීමක ස්වරූපයක් වෙතැයි මට සිතිණි.
“මං කියන පුංචි දේවල්වලටත් ඔය තරම් හිත රිද්දගන්න එපා සාධනා..”
අවසන ඔහු පැවසුවේ ඇසෙන නෑසෙන තරම් මඳ හඬකිනි
“ඉරිසියාකාරයා..”
“ඉරිසියාව නෙමෙයි සාධනා.. මට ලෝභයි මම ඔයාට ලෝභයි.. ඔයාගේ ආදරේට ලෝභයි.. මේ හිනාව.. මේ කතාව වෙන කෙනෙක් විඳිනවට මගේ හිත ලෝභයි..”
ඔහු පැවසුවේ මගේ කොපුලක් රිදෙන්නට මිරිකාගෙනය. එතරම්ම ඔහු ලොබකල මගේ ආදරය දමා ගිය හැටි පුදුමය.
විවාහ ලියාපදිංචි උත්සවය සඳහා පැමිණ උන් අමුත්තන් පිටව ගියේ ඉර බැස යාමට ආසන්න වෙද්දීය. කලෙකට පසුව එකිනෙකා මුණ ගැසුන ඥාතී මිත්‍රාදීන්ට පවසන්නට කතා කරන්නට ඕනෑ තරම් දේ විය.
“ඕකුන් වැඩි හරිය අපට ආදරේකට අව උන් නෙමෙයි.. අපේ ඇද කුද හොයන්න බලාගෙන ආපු උන්..”
අත්තම්මා කිහිපවරක්ම එහාටත් මෙහාටත් ඇවිද ගියේ එසේ කියමිනි.
“බලෙන් ආපු මිනිස්සු නෙවෙයිනේ.. අපිමනේ ආරාධනා කළේ..”
සුදු අම්මා පැවසුවේ පිරිසිදු අත් පිස්නාවකින් පිසදැමූ සුදු පැහැ තැටි පිඟානක් මා වෙත පාමිනි. ඉන්පසු අත්තම්මා නිහඬ විය. ඊයේ සිට නිදිවරමින් කෑම බීම සැකසූ සුදු අම්මා තවමත් එක හුස්මට වැඩය.
Reviews
There are no reviews yet.