“මේ අවුරුදු හතළිහකුත් පැන්න ගෑනිට දැන් මොන දරුවො හැදිල්ලක් ද? ඒ මදිවට කෙල්ල ගෙට වෙන්න ඔන්න මෙන්න.. දැනටම දරුවෝ හතර දෙනෙක් ඉන්නවා මදි ද..?”
නෑදැයන්ගේ, අසල්වැසියන්ගේ ඇනුම්පද, කට කැඩිච්ච කතා නෑසුකන්ව සිටින්නට, ඔවුන්ගේ උපහාසාත්මක බැලුම් මැදිහත් සිතින් උහුලන්නට ජිනාදරීට ශක්තිය ලැබුණේ දරුවන්ගේ සුබවාදී ප්‍රතිචාර හා කිත්සිරිගේ විනෝදකාමී බව නිසාය.
“මටයි ජිනාටයි පුළුවන් හින්දනේ බං දරුවෝ හදා ගන්නේ.. උඹලටත් ඕනේ නම් අනුන්ට ඉරිසියා කර කර ඉන්නේ නැතුව ගිහින් එකෙක් හදා ගනිල්ලා.. බැරිම නම් කියපන් මම එන්නම්.. මොකද උඹලගේ මිනිස්සු වගේ නෙමෙයි මම.. පැදුර පෑගුවත් ඇති..”
ජිනාදරීගේ හිත රිද්දූ ගමේ ගැහැනුන් දෙදෙනෙකුට කිත්සිරි පැවසුවේ ඔවුන් ලැජ්ජාවට මෙන්ම අමනාපයට ද පත් කරමිනි. ඔවුහු කුටු කුටු ගගා වහා එතැනින් නික්ම ගියහ. ජිනාදරීට ද අපහසුවක් දැනිණි.
“මොනවද මේ කියන ඕන් නැති කතා.,”
ඇය සැමියා දෙස නොසතුටින් බලා විමසුවාය.
“උන් ඕන් නැති කතා කියන හින්දා තමයි මගෙනුත් අහ ගත්තේ.. තමන්ගේ රෙදිවල තුත්තිරි පේන්නම පිරිලා තියෙද්දීනේ මුන් මේ අනුන්ගේ යට සායේ තියෙන තුත්තිරි ඇටේ හොයන්නේ.. අර ළමයින්ට ඇහෙයි කියලා හින්දා මිසක්.. නැත්නම් මම තව ඔහොම නෙමෙයි කියන්නේ..”
කිත්සිරි කීවේ වටපිටාව ද පිරික්සා බලමිනි. දරුවන් එකෙක්වත් පේන තෙක් මානයක නොවීම ගැන ජිනාදරී සතුටු වූවාය.
***************************************
“සමහර විට අම්මා කියයි කරන්න ඕන මොනවද කියලා..”
ලොකු මල්ලී පිළිබඳව දැනුණ අවංකම හැඟීම් සකුණට වුව ද කියන්නට අකැමැති වූ ඇය අපේක්ෂා සහගතව පැවසුවාය.
“හැමදේම කිය කියා කරදර කරනකොට අම්මා යන්නම යයි.. ඒ හින්දා ඔයාට තනියෙන් විසඳා ගන්න බැරි දෙයක් විතරක් කියන්න.. අනිත් එක අම්මා හැමදාම එන එකකුත් නෑනේ.. මළවුන් වුණත් ඒ ලෝකේ මොන මොන රාජකාරි තියෙනවද කියලා කාටවත් කියන්න බෑනේ..” සකුණ කියාගෙන ගියේය.
දිනේෂි වුවමනාවෙන් ඇහුම්කන් දීගෙන සිටියයා. ඔහු කියන හැම වචනයක්ම සත්‍යයයි අදහන්නට ඇය මැලි වූයේ නැත.
“ඒත් ඉතින් එයා ඇවිල්ලා ඉන්නවා කියලා මම දැන ගන්නේ කොහොමද..?” ඇය ඇසුවේ බොළඳ හඬිනි.
“එයාට කියන්න එයා ආවා කියලා පේන්න පිච්ච වැල හොලවනවා වගේ මොකක් හරි සලකුණක් කරන්න කියලා.. එතකොට හරි..”
ඔහු යෝජනා කළේය. ඇය වහා එයට එකඟ වූවාය.
**********************************
නිත්‍යා තමාටම පාලනය කර ගන්නට බැරි තරමට කෝපයෙන්, ඊර්ෂ්‍යාවෙන් හා අවමානයට ලක් වූ බවට හැඟීමෙන් වියරු වැටී සිටියාය. පාසැලේ ඉතා ජනප්‍රිය සිසුවියක වූ ඇගේ සිත දිනා ගන්නට වෙර දරන සිසුවෝ පමණක් නොව තරුණ ගුරුවරු දෙදෙනෙක් ද වූහ. එහෙත් ඇය තුළ ඔවුන් කිසිවෙකු කෙරෙහි අබමල් රේණුවක තරමවත් ඇල්මක් නොවිණි. ඇගේ අවධානය එහෙම පිටින්ම යොමු වූයේ කෙල්ලන් විෂයෙහි අහංකාර ප්‍රතිපත්තියක් අනුගමනය කරන සකුණ වෙත පමණකි. ඔහු සිය පන්තියේ කෙල්ලන්ට පවා සුහද වූයේ එක්තරා සීමාවකටය.
“ප්‍රිෆෙක්ට්කම ඔළුවටම අරගෙන ඉන්නේ.. නිකම්වත් කෙල්ලෝ දිහා බලන්නේ නෑනේ..”
බොහෝ කෙල්ලන් ඔහු හෙළා දැක්කේත්, සරදම් කළේත් ඒ ආකාරයටය.
“ලේසියෙන් කඩා ගන්න පුළුවන් මල් පාත අතුවල ඕන තරම් තියෙද්දි උඹලත් ඉතින් උඩ පනින්නේ උඩ අතුවල තියෙන මල්වලටනේ.. ඒවත් මේ මල්ම තමයි.. කඩන්න මහන්සි වෙන එකේ විතරයි වෙනස තියෙන්නේ..”
සකුණ දෙස තෘෂ්ණාවෙන් බලන කෙල්ලන්ට අනෙක් කොල්ලෝ සරදම් කළහ. ඔවුන් තුළ සකුණ කෙරෙහි ඊර්ෂ්‍යාවක් පවා පැවතිණි. කෙල්ලන් මෙන් නොව කොල්ලන් ඔහුගේ ශිෂ්‍ය නායක තනතුර හැරෙන්නට වෙන කිසිම විශේෂත්වයක් දුටුවේ නැත.
Reviews
There are no reviews yet.