මුවග සිනා ඇඳගත් දෙදෙනා සේවකයා පෙන්වූ තැනට ගියහ.. ගමරාල, ගමහාමිනේ යනුවෙන් එල්ලූ පුවරු දෙකක් සහිතව වැසිකිළිය සකස් කර තිබුණි. සුයාම, ‘ගමරාල’ටත් සුලාරි, ‘ගමහාමිනේ’ටත් ඇතුළු වූහ.
ඒ තුළ වසර සිය ගණනක් පැරණි පත්තර පිටු රාමුකර එල්ලා තිබිණි.
සුයාමගේ ඇස ගියේ ඒ පත්තර පිටුවටය. වසර සියයකටත් ඔබ්බෙන් පළවූ සිළුමිණ පත්තරයක පිටුවක් වූ එහි වූයේ ලිපි දෙකකි. එකක් පළමුවැනි ලෝක යුද්ධය පිළිබඳ පුවතකි.
සුයාම ඉන් එළියට ආවේ වෙනස්ම හැඟීමක් සිතෙහි උපද්දා ගෙනය.
සුලාරිද එසේමය.
***************************************
“අනේ මිස් වෙරි සොරි.. මම නම් ඔය කිසිම දෙයක් දන්නෙ නෑ.. මං හිටියෙ එංගලන්තෙ.. තවමත් අවුරුද්දෙන් වැඩි කාලයක් ඉන්නෙ එංගලන්තෙ. මීට අවුරුදු පහකට විතර කලින් ලංකාවට ආ වෙලාවක පත්තරේක තිබුණු දැන්වීමක් දැකලයි ඔය ගෙදර කෝටි ගණනක් ගෙවලා ගත්තේ.. ඒ ගෙදර අයිතිවෙලා තිබුණෙ කවියෙකුට.. අර සුභාරති නයනාංජන කියන්නෙ.. එයාට. ඉතින් මට වැඩිය දෙයක් දන්නවා නම් ඒ සුභාරතී මහත්තයා තමා.. සමහරවිට මිස්ට පුළුවන් වෙයි එයාගෙන් මොනවා හරි තොරතුරක් දැනගන්න..”
“එහෙමද..? මේ එතකොට සුභාරතී සුර්ගෙ ගෙදරද..?”
“ඔව්නෙ..”
අමුත්තා සිනාසුණේය.
“බොහොම ස්තුතියි.. ආයෙ ඕනැකමක් වුණොත් මම මහත්තයට කතා කරන්නද..?”
“ඒකට කමක් නෑ.. ඔයාලා වගේ අයට අපි උදව් කරන්න එපායැ.. ඒ ගෙදර විස්තර බලාගන්න එහෙම ඕනැනම් මට කතා කරන්න.. අවශ්‍ය නම් දවසක් දෙකක් නවතින්න වුණත් පහසුකම් හදල දෙන්න පුළුවන්. ඒ ගෙදර සොල්දරේ කාමර වගයක් තියෙනවා. හදිස්සියකට නතර වෙන්න වුනත් පුළුවන්..”
“ඔහ්.. එහෙමද..?”
“කොෆි ෂොප් එකට ආව ටිකට කතාවක් ලියන්න හිතුණ නම් ඒකෙ දවසක් දෙකක් නැවතුණාම තව තව දේවල් හිතෙන්න දැනෙන්න පුළුවන්.. එතකොට ලියන කතාව හුඟාක් ලස්සන වේවි. ඉස්සර පොත් ලියලා තියෙන හුඟාක් ලේඛකයො පොත් ලියල තියෙන්නෙත් එහෙමලුනෙ..”
“මහත්තයාත් පොත් කියවන කෙනෙක් වගේ..”
සුලාරි ඇසුවාය.
Reviews
There are no reviews yet.